ගම්වල ජනතාවට සෙත සලසන්න පාලම් 881ක වැඩ ඇරඹේ
ග්‍රාමීය ජනතාවගේ ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීම සහ භාණ්ඩ ප්‍රවාහනයේදී පවතින බාධා අවම කිරීමේ අරමුණින් දිවයින පුරා ග්‍රාමීය පාලම් සංවර්ධන වැඩසටහනක් හෙට (14) ආරම්භ කිරීමට නියමිතව තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක “පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. නව රජය බලයට පත්වීමෙන් අනතුරුව ග්‍රාමීය ප්‍රදේශවල පවතින යටිතල පහසුකම් අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලින් තොරතුරු රැස්කර ඇති අතර, ඒ අනුව සංවර්ධනය කළ යුතු පාලම් හඳුනාගෙන තිබේ.
එම වැඩපිළිවෙළ යටතේ සිව් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ග්‍රාමීය පාලම් 881ක් තෝරාගෙන ඇති අතර, ඒ සඳහා 2026 අයවැය මඟින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ රුපියල් මිලියන 1,050ක මුදලක් වැය කරමින් පාලම් 100කට වැඩි ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එහි සමාරම්භක වැඩසටහන් දෙකක් කුරුණෑගල රිදීගම සහ හම්බන්තොට සූරියවැව ප්‍රදේශවලදී පැවැත්වීමට නියමිත අතර, එම අවස්ථාවන්ට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සහභාගී වීමට නියමිතය.
ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් “පුනරුදයේ පුරවර” වැඩසටහන යටතේ තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.