අශීලාචාර අවුරුදු උත්සව ක්‍රීඩා වලට වැඩ වරදී. ක්‍රීඩා පැවැත්වූ අයව සොයයි.

Report

අවුරුදු උත්සවවලදී රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැළපෙන විකෘති ක්‍රීඩා අංග එක් කිරීම පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක පවසනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඊට ඒ සම්බන්ධව ඉදිරියේ දී දැඩි පියවර ගනු ලබන බවයි.

ඒ, පසුගිය අලුත් අවුරුදු සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබූ අවුරුදු උත්සව වලදී ලිංගික ක්‍රියාවන් ඉස්මතුවන ආකාරයෙන් නොගැළපෙන ක්‍රීඩා අංග එක් කර තිබූ අතර එම දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟයි.

මේ සම්බන්ධව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන්නේ, එවැනි විකෘති ක්‍රීඩා අංග සංවිධානය කර තිබූ අවුරුදු උත්සව පිළිබඳ සංස්කෘතික අමාත්‍යාංශය මේ වනවිට තොරතුරු සොයමින් සිටින අතර මෙවැනි විකෘති ක්‍රීඩා අංග අවුරුදු උත්සවවලට එක්කිරීමෙන් සිදුවන්නේ මෙරට තරුණ පිරිස සංස්කෘතික අනාථයන් බවයි.

මේ පිළිබඳව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු ද අදහස් දක්වා තිබුණේ මෙලෙසින්,

"බොහෝ දෙනාට සිංහල ජන ක්‍රීඩා ගැන සරල අවබෝධයක් තිබුණත් ඒවා නිර්මාණය වීමට හේතු වූ මූලාශ්‍ර, කරුණු මොනවාද, ඒවා නිවැරැදිව භාවිත කරන්නේ කොහොමද කියන එක වගේම ඒවා ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැහැ. රටක් විදියට මෙවැනි දේවල් වහාම වෙනස් වෙන්න ඕනෑ වගේම වෙනස් කරන්න ඕනෑ. එදා තිබුණු ජන ක්‍රීඩාවලින් බහුතරයක් අද වන විට අපිට දැක ගන්න බැහැ. ඒක මහා අවාසනාවන්ත තත්ත්වයක්. වෙනත් රටක මෙවැනි දෙයක් වුණා නම් පළමුව ඊට විරුද්ධව නැගී සිටින්නේ ජනතාව. ඒත් ලංකාවේ මේවට අනුබල දෙන්නේම වැඩිහිටි ප්‍රජාව. ඒ නිසා මේ ගැන සියලු දෙනාම අවධානය යොමු කරලා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ සඳහා මම අනිවාර්යෙන්ම සහය ලබා දෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW