හැම සති අන්තයකම iPhone එක පැත්තකින් තියලා සාමාන්‍ය ෆෝන් එකක් ගන්න කාන්තාව - “ලෝකය මාව නැතිව ඉදිරියට යනවා දැනෙනවා”
සෑම සති අන්තයකම සිය ස්මාර්ට්ෆෝනය වෙනුවට ඩොලර් 50ක් පමණ වටිනා සරල ජංගම දුරකථනයක් භාවිත කිරීමේ පුරුද්දක් ඇති කරගත් 26 හැවිරිදි සමාජ මාධ්‍ය බලපෑම්කාරිනියක වන සැන්ටිනා රිසි පවසන්නේ එම පුරුද්ද තම ජීවිතයේ විශාල වෙනසක් ඇති කළ බවයි.
ඇය සෑම සිකුරාදා දිනකම සවස 6.00ට සිය iPhone එක පසෙක තබා, ඉතා සීමිත පහසුකම් සහිත “Burner Phone” එකක් භාවිත කිරීමට පටන් ගෙන තිබේ. ඉන්පසු නැවත ස්මාර්ට්ෆෝනය භාවිත කරන්නේ ඉරිදා සවසදීය. ඇය මෙම ක්‍රමය ආරම්භ කළ පළමු සති අන්තයේදී එය පහසු අත්දැකීමක් වී නොමැත.
තම iPhone එකේ සිදුවන්නේ කුමක්ද, කෙටි පණිවුඩ, සමාජ මාධ්‍ය ප්‍රතිචාර සහ ඊමේල් මඟහැරෙන්නේද යන්න පිළිබඳව ඇයට දැඩි නොසන්සුන්තාවක් ඇති වූ බව ඇය පවසයි.
එහෙත් ඉරිදා දින නැවත සිය iPhone එක පරීක්ෂා කළ අවස්ථාවේදී එහි විශේෂ දෙයක් සිදුවී නොතිබූ බව ඇයට දැකගත හැකි විය. එම අවස්ථාවේදී තමන්ට වැටහුණු වැදගත්ම කරුණ වූයේ තමන් සෑම මොහොතකම නිරීක්ෂණය නොකළත් ලෝකය සාමාන්‍ය පරිදි ඉදිරියට යන බව යැයි රිසි පවසයි.
මෙම අත්දැකීමෙන් පසු ඇය බොහෝ සති අන්තවලදී මෙම “Burner Phone Weekend” ක්‍රමය අනුගමනය කිරීමට පටන්ගෙන තිබේ. මෙම අදහස ආරම්භ වී ඇත්තේ සමාජ මාධ්‍ය භාවිතය නිසා පීඩනයට පත්ව සිටි මිතුරියකට උපකාර කිරීමේ අදහසකිනි.
පසුව ඇය මිතුරන් කිහිපදෙනෙකු සමඟ සිදුකළ සංචාරයකදී මෙම ක්‍රමය අත්හදා බැලීමට අවස්ථාව ලැබී තිබේ. ඇය සමඟ සිටි පිරිස අතර සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් ක්‍රියාකාරීව සිටින බලපෑම්කාරීන් පස්දෙනෙකුද සිටි බව සඳහන් වේ.
එහෙත් ඔවුන් පවා දුරකථනවලින් ඈත්ව ගත කළ කාලය අවසානයේ සතුටින් සහ තෘප්තිමත්ව සිටි බව රිසි පවසයි. මේ වන විට ඇය භාවිත කරන සරල දුරකථන අංකය ලබාදී ඇත්තේ තම සමීපතම මිතුරන් සහ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුට පමණි.
මෙම දුරකථනයේ කෙටි පණිවුඩ යැවීමද අපහසු බැවින් දිගු සංවාද පැවැත්වීම වෙනුවට යමෙකුට ඇය සමඟ කතා කිරීමට අවශ්‍ය නම් හමුවීමට සැලසුමක් සකස් කිරීමට සිදුවන බවද ඇය පවසයි.
ස්මාර්ට්ෆෝනයක් නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට නොමැති වීම හේතුවෙන් මිතුරන්, පවුලේ සාමාජිකයන්, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වැනි තමන් ඉදිරියේ ඇති දේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වී ඇති බවද රිසි සඳහන් කරයි.
එමෙන්ම පණිවුඩ, ඊමේල්, ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍ය සඳහා නිරන්තර ප්‍රවේශයක් තිබීමෙන් තමන් තුළ පැවති සුළු නොසන්සුන්තාවක් පිළිබඳවද ඇයට මේ වන විට අවබෝධ වී තිබේ. කෙසේ වෙතත්, මෙම ක්‍රමය අනුගමනය කිරීමේදී ඇතැම් අපහසුතාද ඇති වී තිබේ.
ඡායාරූප ගැනීමට වෙනම කැමරාවක් භාවිත කිරීමටත්, සංගීතය සඳහා ගුවන්විදුලියට සවන් දීමටත්, ගෙවීම් සඳහා මුදල් හෝ කාඩ්පත් රැගෙන යාමටත් ඇයට සිදුව තිබේ.
මාර්ගයක් සොයාගැනීමට අවශ්‍ය වූ විට සිතියම් යෙදුමක් නොමැති බැවින් මතකයෙන් මාර්ගය සොයා ගැනීම, වෙනත් පුද්ගලයෙකුගෙන් විමසීම හෝ මවට දුරකථන ඇමතුමක් ලබාගෙන මාර්ගය විමසීම වැනි ක්‍රම භාවිත කරන බවද ඇය පවසයි.
මෙම අපහසුතා තිබුණද ඇය පවසන්නේ මෙම පුරුද්ද අත්හැරීමට තමාට අදහසක් නොමැති බවයි. සති අන්තයේ දුරකථනයෙන් ඈත්ව සිටීමට හැකි බව දන්නා නිසා සතියේ දිනවලදී තම වැඩ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමටද හැකි වී ඇති බව ඇය සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙවැනි අත්දැකීමක් ලබාගැනීමට සෑම කෙනෙකුම අලුත් දුරකථනයක් මිලදී ගැනීම අවශ්‍ය නොවන බවද රිසි පවසයි. ස්මාර්ට්ෆෝනයේ යෙදුම් සීමා කිරීම වැනි පහසුකම් භාවිත කර මුලින්ම පැය 24ක් දුරකථනයෙන් ඈත්ව සිටීමෙන් ආරම්භ කළ හැකි බවද ඇය පෙන්වා දෙයි.