පියාඹන කාර් සිහිනය සැබෑ වෙයිද? - ''ටෙස්ලා රථයක් අහසේ පෙන්වූ විස්මිත පෙළහර''
සාමාන්ය මෝටර් රථයකට කළ නොහැකි ආකාරයේ අසාමාන්ය චලනයන් සිදුකරමින්, උඩුයටිකුරුව ගමන් කර කෙටි වේලාවක් ගුවනට නැඟෙන ටෙස්ලා රෝඩ්ස්ටර් (Tesla Roadster) රථයක දර්ශන පෙළක් මේ වන විට ලොව පුරා අවධානය දිනාගෙන තිබේ.
විද්යුත් ක්රීඩා මෝටර් රථයක් වන මෙම රථයේ නවීකරණය කළ මාදිලිය ප්රදර්ශනය කර ඇත්තේ 2026 ඔක්තෝබර් 15 වැනිදා ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ මැක්ග්රෙගර්හි පිහිටි ස්පේස්එක්ස් (SpaceX) මධ්යස්ථානයක පැවති උත්සවයකදීය.
මෙහිදී රථය විශාල වක්රාකාර බෑවුමක් ඔස්සේ ඉහළට ගමන් කර, උඩුයටිකුරුව එම මාර්ගයේ ගමන් කිරීමෙන් අනතුරුව කෙටි වේලාවක් ගුවනේ ගමන් කර ආරක්ෂිතව ගොඩබසින ආකාරය දැකගත හැකි විය.
මෙම දර්ශන සාමාන්ය මෝටර් රථයක් එළිදැක්වීමකට වඩා විස්මිත සංදර්ශනයකට සමාන වූ බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඉලොන් මස්ක්ගෙන් සමාජ මාධ්ය සටහනක්
ටෙස්ලා ප්රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක් මෙම ප්රදර්ශනයේ වීඩියෝවක් සිය X සමාජ මාධ්ය ගිණුම ඔස්සේ බෙදාගෙන තිබේ. එම වීඩියෝව සමඟ ඔහු සඳහන් කර තිබුණේ, “අනාගතයේ පියාඹන මෝටර් රථ තිබෙන බව දැන් පෙනී යනවා” යන අදහස ගෙන දෙන සටහනකි.
ටෙස්ලා සමාගමේ නිල X ගිණුමෙන් ද මෙම ප්රදර්ශනයේ දර්ශන බෙදාගෙන තිබීම විශේෂත්වයකි. රථය ගුවනට නැඟෙන්නේ කෙසේද? මෙම නවීකරණය කළ රෝඩ්ස්ටර් රථයේ විශේෂාංග අතර ස්පේස්එක්ස් සමාගම විසින් සංවර්ධනය කරන ලද සීතල වායු තෙරපුම් පද්ධති (Cold-gas thrusters) ද ඇතුළත් බව වාර්තා වේ.
පීඩනයට ලක් කළ වායුව භාවිත කර තෙරපුම් බලයක් නිපදවන මෙම තාක්ෂණය, සාමාන්ය මෝටර් රථයකින් සිදුකළ නොහැකි විශේෂිත චලනයන් සඳහා උපකාරී වේ. කෙසේ වෙතත්, මෙහිදී ප්රදර්ශනය කළ හැකියාවන් සාමාන්ය මාර්ගවල භාවිත වන මෝටර් රථයකට සෘජුවම යොදාගත හැකි බවක් ඉන් අදහස් නොවේ.
වසර ගණනක් ප්රමාද වූ රෝඩ්ස්ටර් රථය
ටෙස්ලා සමාගම සිය නව පරම්පරාවේ රෝඩ්ස්ටර් රථය පළමුවරට හඳුන්වා දුන්නේ 2017 නොවැම්බර් මාසයේදීය.
එහෙත් නිෂ්පාදනය ආරම්භ කිරීම අවස්ථා කිහිපයකදීම ප්රමාද වීම හේතුවෙන් එය මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාරිභෝගිකයන්ට දිගු කාලයක් බලා සිටීමට සිදුව තිබේ.
විදෙස් මාධ්ය වාර්තාවලට අනුව, මෙම නව මාදිලියේ නිෂ්පාදනය 2028 වසරේදී ආරම්භ කිරීමට සමාගම සැලසුම් කර ඇත.
එබැවින්, ප්රදර්ශනයේදී දක්නට ලැබුණු විශේෂ හැකියාවන් සහිත රථය වාණිජමය වශයෙන් වෙළෙඳපොළට පැමිණීමට තවත් කාලයක් ගතවිය හැකිය.
සැබෑ පියාඹන මෝටර් රථ යුගය ඇරඹෙයිද?
මෙම ප්රදර්ශනය අනාගත ප්රවාහන තාක්ෂණය පිළිබඳ නව කතාබහක් ඇති කළද, පියාඹන මෝටර් රථ එදිනෙදා ප්රවාහනයේ කොටසක් බවට පත්වීමට තවමත් බාධා රැසක් පවතී.
විශේෂයෙන්ම මහජන මාර්ගවල මෙවැනි රථ භාවිත කිරීම සඳහා අවශ්ය නීතිමය අනුමැතිය, ආරක්ෂාව සහ ප්රායෝගික භාවිතය පිළිබඳ ගැටලු තවමත් විසඳී නොමැත.
ඒ අනුව, ටෙස්ලා රෝඩ්ස්ටර් රථයේ මෙම ප්රදර්ශනය අනාගත තාක්ෂණය පිළිබඳ කුතුහලය වැඩි කළද, සැබෑ පියාඹන මෝටර් රථ සාමාන්ය ජනතාවට භාවිත කළ හැකි දිනය කවදාද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකිය.