වසර 13ක ශාපය බිඳ දමමින් සබිනා පාර්ක් පිටියේදී කොදෙව්වන්ට රිදෙන්නම ගහයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 41 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, තරග 3 කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව තිබේ. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 303ක් රැස්කිරීමට සමත් විය.
එයට පිළිතුරු වශයෙන් පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් පිල පන්දුවාර 49යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී රැස්කරනු ලැබුවේ ලකුණු 262ක් පමණි. මෙහිදී වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 103කට මුහුණදෙමින් ලකුණු 79ක් රැස්කළ අතර, ඒ සමග ඔහුට සිය 19 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට හැකිවිය.
පැතුම්ගේ ඉනිමට හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. එමෙන්ම නායකත්වයේ වගකීම කරට ගත් නව නායක කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් දියත් කරමින්, පන්දු 62කදී සිය 35 වැනි එක්දින අර්ධ ශතකය වාර්තාකර ලකුණු 72ක් රැස්කළේය.
ප්‍රහාරාත්මක ඉනිමකට මුල පිරූ ඔහුගේ පිත්තෙන් හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් වාර්තා විය. මීට අමතරව මැදපෙළ ශක්තිමත් කළ චරිත් අසලංක (45) සහ ජනිත් ලියනගේ (නොදැවී 44) දක්ෂ පන්දුවට පහරදීමක නිරත වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 300 සීමාවෙන් එපිටට රැගෙන යාමට අනගි දායකත්වයක් සැපයූහ. බ.ඉ කොදෙව්වන් වෙනුවෙන් මැතිව් ෆෝඩ් පන්දුවාර 9කදී ලකුණු 44කට කඩුලු 2ක් දවාගත්තේය.
ඊට අමතරව රොස්ටන් චේස් පන්දුවාර 10ක් යොමුකර ලකුණු 47කට කඩුලු 2ක් දවාගැනීමට සමත් විය. මෙම තරගය පැවැත්වෙන ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගයකට ක්‍රීඩා කරන්නේ වසර 13කට පසුවය. අවසන් වරට 2013 වසරේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මෙහි ක්‍රීඩා කළ අතර, එවර ලකුණු 208කට සීමා වීම නිසා කොදෙව්වන් හමුවේ කඩුලු 6ක පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.


