කොදෙව්වන්ගෙන් සුපිරි ප්‍රහාරයක් - විස්සයි20 තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

Report

ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවති තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියේ ජය තහවුරු කර ගත්තේය.

එම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව්වෝ සමත් වූහ.

කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 169ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 28කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 43ක් රැස් කළේය.

කොදෙව් පන්දු යවන්නන් අතර කැපී පෙනුණු ශමාර් ජෝසෆ් ලකුණු 33කට කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම සීමා කිරීමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නේය.

තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට දැවැන්ත ඉලක්කයක්

තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට දැවැන්ත ඉලක්කයක්

ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් පමණක් අහිමි කරමින් ඉලක්කය සාර්ථකව පසු කළේය.

කොදෙව් ජයග්‍රහණයේ නායකත්වය ගත් ෂර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 40කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් රැස් කළ අතර, රොව්මන් පවෙල් ලකුණු 33ක් සහ ෂිම්රන් හෙට්මයර් පන්දු 19කින් ලකුණු 32ක් රැස් කරමින් ජයග්‍රහණයට වැදගත් දායකත්වයක් ලබා දුන්හ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් වඩාත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුළ ලකුණු 17කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. කෙසේ වෙතත්, ඔහුගේ එම උත්සාහය ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගැනීමට ප්‍රමාණවත් නොවීය.