වන්නි සමූහ මිනීවලෙන් ගොඩගත් දේවල්...හඳුනාගැනීම සඳහා කැඳවීමක් කරයි
මුලතිව් සමූහ සුසානයේ වලදමා සිටියේ කවුදැයි හඳුනා ගැනීමට උපකාරී වනු පිණිස වලෙන් ගොඩගන්නා ලද මිනිස් අස්ථි නොවන ද්‍රව්‍ය ලැයිස්තුවක් අධිකරණ වෛද්‍ය කටයුතු මෙහෙයවූ නිලධාරියා උසාවියට බාර දී තිබේ.
ඒවා හඳුනාගෙන වලදැමුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ඉදිරිපත් වන ලෙස අධිකරණ වෛද්‍ය කනපතිපිල්ලේ වාසුදේවා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අවුරුද්දකට මදක් වැඩි කාලයක් ගතකොට කොක්කුතොඩුවායි සමුහ සුසානයේ කැනීම් කටයුතු 2024 ජුලි 15 වැනිදා නිමා කරන විට පුද්ගලයන් 52 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබුනි.
එම සමූහ සුසානය සම්බන්ධ නඩුව මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ 2025 පෙබරවාරි 27 වැනිදා විභාගයට ගැනීමෙන් අනතුරුව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේවා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ තමන් එදින අධිකරණයට වාර්තා දෙකක් ඉදිරිපත් කළ බවයි.
"මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ කොක්කුතොඩුවායි සමුහ මිනි වල සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සමුහ සුසානය සම්බන්ධයෙන් මම වාර්තා දෙකක් ඉදිරිපත් කළා.
පළමුවැනි වාර්තාව කොක්කුතොඩුවායි සමුහ මිනි වලේ කැනීම් කර ගොඩගත් ඇටසැකිලි සමග තිබුන ඇඳුම් සම්බන්ධයෙන්.
දෙවැනි වාර්තාව කොක්කුතොඩුවායි සමුහ මිනි වල කැනීමේදී ගොඩගත් අස්ථි කාගේදැයි හඳුනා ගැනීමට උපකාරී වන අනිකුත් ද්‍රව්‍ය සම්බන්ධයෙන්.
" සමුහ සුසානයෙන් ගොඩ ගන්නා අස්ථි බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන්ගේදැයි හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඥාතීන් විසින් මීට ඉහත දී අධිකරණයට දිවුරුම් පෙත්සම් කීපයක්ම ඉදිරිපත් කර තිබුනි.
දොස්තර වාසුදේවා විශ්වාසය පළ කරන්නේ අධිකරණයට ඉදිරිපත් කර ඇති වස්තු ඔවුන්ගේ ඥාතීන් විසින් හදුනා ගතහොත් මිනිස් අස්ථි වල අනන්‍යතාවය සොයා ගැනිමේ පහසුවක් ඇති වන බවටයි.
"දෙවැනි වාර්තාවේ කැණීම්වලදී හමුවූ අංක තහඩු, ඇඳුම්වල තිබු අංක සහ අනෙකුත් විස්තර ඉදිරිපත් කරලා තියනවා.
මෙහිදී අංක තහඩු ඇති අයගේ ඥාතීන් කවුරුන් හෝ ඉදිරිපත් වුවහොත් මියගිය පුද්ගලයා පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.
” වල දමා සිටියවුන්ගේ ජීව දත්ත රැගත් අවසන් වාර්තාව සති හයක කාලයක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමේ අපේක්ෂාව අධිකරණ වෛද්‍ය නිලධාරි වාසුදේවා මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් පලකොට තිබේ.
"අවසන් වාර්තාව නිකුත් කරන අවස්ථාවේ දී මියගිය පුද්ගලයා මිය ගියේ කුමක් නිසාද? ඔවුන්ගේ වයස, උස යනාදී විස්තර ඇතුළත් වාර්තා සති හයක් ඇතුළත ඉදිරිපත් කරනවා."
