චීනය සමඟ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට සැමවිටම කැපවුණා - එජාපයේ කැප කිරීම ගැන වජිරගෙන් හෙළිදරව්වක්
වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂය චීනය සමඟ ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා සෑම අවස්ථාවකම කටයුතු කළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයට, චීන රජයට සහ ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුබපැතුම් පිරිනමන බවයි.
චීන කොමියුනිස්ට් පක්ෂය සියවසකට අධික කාලයක් පුරා චීනයේ සංවර්ධනයට නායකත්වය ලබා දී ඇති අතර, ජනාධිපති ෂී ජින්පින් මහතාගේ නායකත්වය යටතේ මිලියන සංඛ්‍යාත ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගැනීම මානව ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය සියවස් ගණනාවකට පෙර ෆා-හියන් භික්ෂූන් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දක්වා දිවෙන බව සඳහන් කළ අබේවර්ධන මහතා, නූතන යුගයේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් වූයේ 1952 දී අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් රබර්–සහල් ගිවිසුම අත්සන් කිරීමත් සමඟ බව පෙන්වා දුන්නේය.
චීනයේ සහායෙන් ඉදිකෙරුණු බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල සහ ගිං ගඟ ගංවතුර ආරක්ෂණ ව්‍යාපෘතිය වැනි සංවර්ධන ව්‍යාපෘති දෙරටේ මිත්‍රත්වයේ සංකේත ලෙස අදටත් පවතින බවද ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය සෑම විටම චීනය සමඟ සහයෝගීතාව වර්ධනය කිරීමට කටයුතු කළ බව පැවසූ අබේවර්ධන මහතා, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තීරයක් සහ මාවතක් (Belt and Road Initiative) වැඩසටහනේ මුල් හවුල්කරුවෙකු බවට පත්වූ අතර, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වැනි මෙරට ඉතිහාසයේ විශාලතම ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවද සඳහන් කළේය.
2022 ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට සහාය ලබා දුන් රටවල් අතර චීනයද ප්‍රමුඛ ස්ථානයක් ගත් බව පෙන්වා දුන් ඔහු, ශ්‍රී ලංකාව "එක් චීනයක්" ප්‍රතිපත්තියට දක්වන කැපවීම එක්සත් ජාතික පක්ෂය නිරන්තරයෙන් තහවුරු කර ඇති බවද අවධාරණය කළේය.
අද ලෝකය විශාල වෙනස්කම් රැසකට මුහුණ දෙමින් සිටින අතර, එවැනි පසුබිමක චීනය විවෘතභාවය, සහයෝගීතාව සහ බෙදාගත් සංවර්ධනය ප්‍රවර්ධනය කරන රටක් ලෙස ක්‍රියා කරන බවද අබේවර්ධන මහතා පැවසීය.
"අද චීනය සමඟ සිටීම යනු අවස්ථාව සමඟ සිටීමයි," යනුවෙන් ඔහු සඳහන් කළේය.
තවද, එක්සත් ජාතික පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර දශක ගණනාවක් පුරා පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, පාලන අත්දැකීම් හුවමාරු කර ගැනීමට සහ දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් නව සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීමට අපේක්ෂා කරන බවද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.