කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විජිත හේරත් ශෝකය පළ කරයි
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු මෙන්ම 'පිය එමීර්වරයා' ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි තුමාණන්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද දින (ජූලි 15) කටාර් තානාපති කාර්යාලයේ ශෝක ප්‍රකාශන පොතෙහි අත්සන් තැබීය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එහිදී විශේෂ ශෝක ප්‍රකාශ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අභාවප්‍රාප්ත පිය එමීර්වරයා කටාර් රාජ්‍යය නවීන දියුණුවේ ප්‍රදීපාස්තම්භයක් බවට පත්කළ දූරදර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ බවයි.
එතුමාගේ පාලන සමය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමටත්, අද වන විට දෙරටම භුක්ති විඳින ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ ජනතාව අතර සබඳතා සඳහා ස්ථාවර පදනමක් දැමීමටත් ඉටුකළ සුවිශේෂී මෙහෙවර ශ්‍රී ලංකාව ඉමහත් කෘතඥතාවයෙන් යුතුව සිහිපත් කරන බවද අමාත්‍යවරයා එහි සටහන් කර තිබේ.
මෙම ජාතික ශෝකී අවස්ථාවේදී, කටාර් රාජ්‍යයේ වත්මන් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි උතුමාණන්, එරට රාජකීය පවුලේ සාමාජිකයන් මෙන්ම කටාර්හි සහෝදර ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටි අමාත්‍යවරයා, අභාවප්‍රාප්ත පිය එමීර්වරයාගේ ආත්මයට සදාකාලික සාමය ප්‍රාර්ථනා කර සිටියේය.