ඉරානයට ඇමරිකාවෙන් ප්‍රබල ප්‍රහාර මාලාවක් - ලෝකයටම බලපැම් සහගත තත්වයක්
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය “ඉදිරි දැනුම්දීමක් දක්වා” වසා දැමීමට තීරණය කිරීමෙන් පසු එක්සත් ජනපදය ඉරාන ඉලක්ක 140කට පමණ ප්‍රහාර එල්ල කර ඇති බව ඇමෙරිකානු මධ්‍යම හමුදා විධානය (CENTCOM) පවසයි.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර ඇත්තේ අවසර නොලත් මාර්ගයක ගමන් කළ බවට චෝදනා කළ නෞකාවකට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බවයි.
එම සමුද්‍ර මාර්ගය හරහා ගමන් කරන නෞකා සඳහා නිසි මාර්ගෝපදේශ අනුගමනය නොකළ බව ඉරානය චෝදනා කර ඇත. එම තීරණයට පසු කලාපීය ආතතිය තවත් උග්‍ර විය. ඇමෙරිකානු මධ්‍යම හමුදා විධානය සඳහන් කළේ, සයිප්‍රස් ධජය යටතේ ගමන් කළ බහාලුම් නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කළ බවත්, එහි එක් සිවිල් සේවකයෙකු අතුරුදන් වී ඇති බවත්ය.
ඒ අනුව ඇමෙරිකානු හමුදාව ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන මධ්‍යස්ථාන, නාවික හැකියාවන්, අවි ගබඩා, සන්නිවේදන ජාල සහ වෙරළ නිරීක්ෂණ ස්ථාන ඇතුළු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව CENTCOM පවසයි. ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කළේ ඉරානය ගත් තීරණයට “මිලක් ගෙවීමට සිදුවනු ඇති” බවයි.
මේ අතර ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ බුෂෙහර්, අසාලූයේහ්, බන්දාර් අබ්බාස් සහ බන්දාර්-ඩයර් ඇතුළු දකුණු වෙරළ ප්‍රදේශවල පිපිරීම් වාර්තා වූ බවයි. ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන තර්ජන හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කටාර් සහ කුවේට් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කළ බව සඳහන් වේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය ගෝලීය තෙල් හා ගෑස් ප්‍රවාහනයේ ඉතා වැදගත් මාර්ගයක් වන අතර, එය වසා දැමීම ලෝක බලශක්ති වෙළෙඳපොළට බලපෑම් ඇති කළ හැකි කරුණක් ලෙස සැලකේ.