ආපදා පෙර සූදානමට ඇමරිකා හෙලිකොප්ටර් 10ක් යවයි
ස්වභාවික ආපදාවලට පෙර සූදානම් වීම හා හදිසි ආපදා කළමනාකරණය සඳහා අමෙරිකා එක්සත් ජනපදයෙන් තවත් හෙලිකොප්ටර් යානා 10ක් මැයි මාසයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබෙන බව ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
TH-57 කාණ්ඩයේ මෙම විශේෂ හෙලිකොප්ටර් යානා ඉදිරි සති කිහිපය තුළ මුහුදු මාර්ගයෙන් ගෙන ඒම ආරම්භ වන බවත් ඔහු සඳහන් කළේය. එම යානා ලැබීමෙන් පසු හදිසි ආපදා කළමනාකරණය සඳහා විශාල රුකුලක් ලැබෙන අතර, ගුවන් හමුදාවේ පුහුණු කටයුතු සඳහාද ඉහළ පිටිවහලක් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ඊට අමතරව අමෙරිකාව සමඟ සාකච්ඡා කර උපයෝගිතා හෙලිකොප්ටර් කිහිපයක් තවදුරටත් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය. මේ වන විටත් අමෙරිකාවෙන් හා ඔස්ට්‍රේලියාවෙන් ලැබී ඇති විශේෂ යානා දෙක මේ වන විට ඉතා වැදගත් සේවාවක් සපයමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
දැනට භාවිතයේ ඇති MI-17 හෙලිකොප්ටර් යානා ජෝර්ජියා රාජ්‍යයට යැවීමෙන් පසු පූර්ණ අලුත්වැඩියාවකට ලක් කිරීමට කටයුතු කරන බවත්, එමගින් ගුවන් හමුදාවේ පුළුල් ගුවන් සේවාවක් සැලසීමට හැකි වන බවත් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානිවරයා අවධාරණය කළේය.
මෙම නව හෙලිකොප්ටර් ලැබීමත් සමඟ රටේ ගංවතුර, භූ කම්පන, සුළි සුළං ආදී ස්වභාවික ආපදාවලදී ගුවන් හමුදාවේ බේරුම්කරණ, සැපයුම් හා නිරීක්ෂණ කටයුතු තවදුරටත් ශක්තිමත් වනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.