ලේවිලක් වගුරමින් ඉරාන තෙල් නෞකාවකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්
ඉරානයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකාවකට අමෙරිකාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපත ආසන්නයේ නැංගුරම් ලා තිබූ තෙල් නෞකාවක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර, නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කරගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, අමෙරිකානු මධ්‍යම බලකාය ද මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වැළකී සිටියි.
පසුගිය අගෝස්තු 31 වනදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඛාර්ග් දූපත විනාශ වන ආකාරය නිරූපිත වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, ඛාර්ග් දූපතට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බවට ඉරානය මීට පෙර සෘජු අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබුණි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීමට පියවර ගැනීමත් සමඟ, ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව විසින් ඉරාන වරායන් සහ නාවික ගමනාගමනය ඉලක්ක කරගනිමින් නාවික බාධා කිරීම් සහ වැටලීම් ආරම්භ කරනු ලැබීය.
මෙම වර්ධනය වන යුධමය තත්ත්වය හමුවේ, ඉරානය සිය බොරතෙල් අපනයනයෙන් 90%ක් පමණ සිදු කළ ඛාර්ග් දූපත ආශ්රිත තෙල් ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.
එල්ල වූ මෙම මිසයිල ප්‍රහාරයත් සමඟ ඉරාන ආර්ථිකයට සහ එහි ප්‍රධාන තෙල් කර්මාන්තයට තවදුරටත් දැඩි හානි සිදුවනු ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.