හෝමූස් සමුද්‍ර සන්ධිය යළිත් ගිනි ගනී - ඇමෙරිකාව සහ ඉරානය අතර නාවික ප්‍රහාර මාලාවක්

Report

මාසයකට ආසන්න කාලයක් පැවති සාපේක්ෂ සන්සුන් තත්ත්වය අවසන් කරමින් පසුගිය සතියේ යළිත් සටන් උත්සන්න වීමත් සමඟ, ඇමෙරිකාව සහ ඉරානය අතර නාවික ප්‍රහාර මාලාවක් හටගෙන තිබේ.

සෙනසුරාදා සිදු වූ ප්‍රහාරවලදී ඉරානයට සම්බන්ධ තෙල් ටැංකි තුනකට පහර දුන් බව ඇමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇත. එම ටැංකි තුනෙන් දෙකක් “ස්ථිරවම අක්‍රිය” කළ බවත්, තවත් ටැංකියක් “සම්පූර්ණයෙන්ම විනාශ” කළ බවත් ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) සඳහන් කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ද ඇමෙරිකාවට සම්බන්ධ නෞකා තුනකට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තෙල් ටැංකි තුනකට ප්‍රහාර එල්ල කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

ඇමෙරිකානු ප්‍රහාරවලට පෙර ඉරානය විසින් ඇමෙරිකානු යුද නෞකා දෙකක් ඉලක්ක කර ප්‍රහාර කිහිපයක් එල්ල කළ බව CENTCOM පවසයි.

එම ප්‍රහාර සාර්ථකව වළක්වා ගැනීමට හැකි වූ බවත්, ඇමෙරිකානු භටයන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් එම මූලස්ථානය සඳහන් කළේය.

CENTCOM අනුව ඇමෙරිකාව ඉලක්ක කළ ඉරාන තෙල් ටැංකි තුන, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සහ එහි කලාපීය සහචරයන්ට අරමුදල් සපයන ඩොලර් බිලියන ගණනක “සෙවනැලි ජාලයක” කොටසකි.

කෙසේ වෙතත්, ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ කාර්ග් දූපත ආසන්නයේ තෙල් ටැංකියකට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි. ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන පර්යන්තය පිහිටා ඇත්තේද මෙම දූපතේය. රටේ බොරතෙල් අපනයනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එම ප්‍රදේශය හරහා සිදු කෙරේ.

ඕමාන් බොක්කේදී ඇමෙරිකානු ප්‍රහාරයට ලක් වූ තෙල් ටැංකි දෙකක කාර්ය මණ්ඩල සාමාජිකයන් ජීවිතාරක්ෂක බෝට්ටු මගින් වෙරළට රැගෙන ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. එම ටැංකිවලින් එකක් හිස්ව තිබූ අතර අනෙක් ටැංකිය තෙල් තොගයක් රැගෙන ගමන් කරමින් තිබූ බවද සඳහන් විය. ඉන් පැය කිහිපයකට පසු IRGC විසින් කලාපයේ නෞකා හයකට ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

ඒ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තෙල් ටැංකි තුනක් සහ වෙනත් ප්‍රදේශවල ඇමෙරිකාවට සම්බන්ධ නෞකා තුනක් ඇතුළත් වූ බව පැවසේ. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේදී “අවසර නොලත්” මාර්ග භාවිත නොකරන ලෙස IRGC අනෙකුත් නෞකාවලටද අනතුරු අඟවා තිබේ. ලෝකයේ තෙල් හා ගෑස් ප්‍රවාහනය සඳහා අතිශය වැදගත් මෙම සමුද්‍ර සන්ධිය, ගැටුම් ආරම්භ වූ දා සිට ප්‍රායෝගිකව වසා දැමීමේ තත්ත්වයකට පත්ව ඇති අතර, එය ඉරානයට සැලකිය යුතු බලපෑම්කාරී මෙවලමක් බවට පත්ව තිබේ. මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය “විවෘතව” පවතින බවත්, ඇමෙරිකානු හමුදාව දකුණු මාර්ගය ඔස්සේ නෞකාවලට ගමන් කිරීමට සහාය ලබා දෙන බවත්ය. සාපේක්ෂ සන්සුන් කාලයකින් පසු, හෝමූස් සමුද්‍ර සන්ධියට නාවික බිම්බෝම්බ දැමීම සඳහා යොදාගත හැකි බව පවසමින් ඇමෙරිකාව පසුගිය ඉරිදා යළිත් ප්‍රහාර ආරම්භ කළේය.

ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ ඇමෙරිකාව තවත් “ඉතා දරුණු ප්‍රහාරයක්” එල්ල කළ නමුත් යළි ආරම්භ වූ සටන් වැඩි කාලයක් නොපවතිනු ඇති බවයි. ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට් සහ ජෝර්දානය ඇතුළු රටවල පිහිටි ඇමෙරිකානු ඉලක්ක වෙතද ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය.

මේ අතර, දකුණු ඉරානයේ විවාහ උත්සවයක් අතරතුර ඇමෙරිකානු ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු අවම වශයෙන් සිව්දෙනෙකු මියගිය බවට ඉරානය කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අදහස් දක්වා තිබේ. එම වාර්තා පිළිබඳව තමා “අතිශයින් සැක සහිත” බව ඔහු පැවසුවද, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව තහවුරු කළේය. ඉරාන රතු අඩසඳ සංවිධානය පවසන්නේ සිරික් ප්‍රදේශයේ නිවසක පැවති එම උත්සවයට මිසයිලයක කොටස් වැදී ඇති බවයි.

ඉරානය එම සිද්ධිය “යුද අපරාධයක්” ලෙස හඳුන්වා තිබේ. ඇමෙරිකාව සහ ඉරානය අතර පැවති දින 60ක සටන් විරාමය පසුගිය මාසයේ නිල වශයෙන් අවසන් වූ අතර, ඉන් අනතුරුව තවදුරටත් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් කරා යන පැහැදිලි ප්‍රගතියක් දක්නට නොලැබුණි.

සටන් විරාමය අවසන් වී දින කිහිපයකට පසු ට්‍රම්ප් ඉරානයට මෙන්ම ඉරානයට සහාය දක්වන හෝ එරට සමඟ ව්‍යාපාර කරන රටවලට එරෙහිව දැඩි ආර්ථික පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය. සිකුරාදා ට්‍රම්ප් යළිත් අවධාරණය කළේ වත්මන් ගැටුම “යුද්ධයක්” ලෙස නොසලකන බවයි. එය “මිලිටරි ගැටුමක්” ලෙස හැඳින්විය හැකි නමුත්, ඇමෙරිකාවට එය විශාල ගැටලුවක් නොවන බව ඔහු පැවසීය.

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පෙබරවාරි 28 වැනිදා ඉරානයට එරෙහිව පුළුල් ප්‍රහාරයක් ආරම්භ කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊශ්‍රායලයට, ඇමෙරිකානු හමුදා කඳවුරුවලට සහ ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු සහචර රටවලට ප්‍රහාර එල්ල කළේය. එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයටද දැඩි බලපෑම් එල්ල විය.

ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සාමාන්‍යයෙන් ලෝකයේ සමස්ත තෙල් සහ ද්‍රව ස්වභාවික ගෑස් සැපයුමෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරේ.