ලංකාවේ HIV ආසාදනය වෙන පිරිමින්ගේ භයානක ඉහළ යාමක් - කාන්තාවන් 1ට පිරිමි 7ක්
මෙරට HIV ආසාදන ඉහළ යාමට පිරිමින් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතා ප්රධාන හේතුවක් තිබෙන බව ලිංගාශ්රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය මහත්මිය සදහන් කර තිබේ .
ඇය පෙන්වා දෙන්නේ වර්තමානයේ HIV ආසාදිත කාන්තාවක වාර්තා වන විට ආසාදිත පිරිමි පුද්ගලයන් හත්දෙනෙකු වාර්තා වන ප්රවණතාවක් දක්නට ලැබෙන බවයි. ඇය මේ බව සඳහන් කළේ අද (14) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශ ශ්රවණාගාරයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමිනි .
ශ්රී ලංකා ලිංගික සෞඛ්ය හා HIV වෛද්ය ක්ෂේත්රය පිළිබඳ විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනයේ සභාපතිනිය වන ඇය පෙන්වා දුන්නේ පිරිමින් අතර ලිංගික සබඳතා පවත්වන පුද්ගලයන් අතර HIV ආසාදන වැඩි වශයෙන් වාර්තා වන බවයි.
මීට අමතරව, මත්ද්රව්ය එන්නත් කර ගැනීමේදී ද ආසාදන වාර්තා වන බව ඇය සඳහන් කළාය. 1986 වසරේදී මෙරට පළමු ඒඩ්ස් රෝගියා වාර්තා වීමෙන් පසු රෝග පාලනය සඳහා ජාතික ලිංගාශ්රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකය ඇතුළු ආයතන සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර තිබේ.
2021 වසර දක්වා රෝග පාලන කටයුතු සාර්ථකව සිදු වුවද, කොවිඩ් වසංගතය හේතුවෙන් එම කටයුතුවලට යම් බලපෑමක් එල්ල වූ බව විශේෂඥ වෛද්යවරිය පැවසුවාය.
2023 වසරේ සිට HIV ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමේ ප්රවණතාවක් පෙන්නුම් කරන අතර, 2026 වසරේදී ද එම තත්ත්වය දක්නට ලැබෙන බව ඇය සඳහන් කළාය.
අන්තර්ජාල භාවිතය ඉහළ යාම, ආර්ථික අර්බුදය, මත්ද්රව්ය භාවිතය සහ මුදල් මත පදනම් වූ ලිංගික සබඳතාවලදී ආරක්ෂිත ක්රමවේද අනුගමනය නොකිරීම මෙම තත්ත්වයට බලපා ඇති සාධක ලෙස ඇය පෙන්වා දුන්නාය.
තවද HIV ආසාදිතයන් වැඩිම සංඛ්යාවක් කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වන අතර, දිවයින පුරා විවිධ වයස් කාණ්ඩ සහ රැකියා ක්ෂේත්ර නියෝජනය කරන පුද්ගලයන් අතරින් ද ආසාදිතයන් හඳුනාගැනේ.
ඒ වගේම 2021 වසරට පෙර වසරකට වාර්තා වූ උපදංශ රෝගීන් සංඛ්යාව 80ත් 100ත් අතර පැවතිය ද, මේ වන විට එය වසරකට 1,500ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ඇය සඳහන් කළාය.
එමෙන්ම, 2026 වසරේදී හෙපටයිටිස් බී රෝගීන් සංඛ්යාව පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක් වී ඇති අතර, 2025 වසරේදී හෙපටයිටිස් සී රෝගීන් සංඛ්යාව සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ද ඇය පැවසුවාය.
HIV වැළැක්වීම සහ ආසාදිතයන්ට ප්රතිකාර ලබාදීම සඳහා ශ්රී ලංකාව තුළ නවීන ප්රතිකාර ක්රම පවතින බවත්, අඩු අතුරු ආබාධ සහිතව නොමිලේ ප්රතිකාර ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවත් විශේෂඥ වෛද්යවරිය අවධාරණය කර තිබේ .
කෙසේ වෙතත්, රෝග වැළැක්වීමේ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සහ ලිංගික සෞඛ්ය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අත්යවශ්ය බව ද ඇය පෙන්වා දුන්නාය. මේ අතර, ශ්රී ලංකා ලිංගික සෞඛ්ය හා HIV වෛද්ය ක්ෂේත්රය පිළිබඳ විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනයේ 31 වැනි වාර්ෂික අධ්යයන සැසිවාරය සහ සමුළුව ඔක්තෝබර් 29 සිට 31 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.
බ්රිතාන්ය HIV සංගමය සමඟ එක්ව සංවිධානය කෙරෙන මෙම සමුළුවේදී ලිංගික සෞඛ්ය සහ HIV ප්රතිකාර ක්ෂේත්රයේ නව ප්රවණතා, නවෝත්පාදන සහ සහයෝගීතාව පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.