එක්සත් ජාතික පක්ෂයට අද වසර 80යි - සංවත්සර සැමරුමට සියල්ල සූදානම්
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය අද (06) සැමරීමට නියමිතව තිබේ. සංවත්සරයට සමගාමීව සංවිධානය කර ඇති විශේෂ සැමරුම් උත්සවය පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00ට පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය 1946 වසරේ සැප්තැම්බර් 6 වැනිදා කොළඹ ෆාම් කෝට් මන්දිරයේදී පිහිටුවනු ලැබීය. එහි ප්‍රථම නායකයා ලෙස ඩී.එස්. සේනානායක මහතා තේරී පත්වූ අතර, එච්.ඩබ්ලිව්. අමරසූරිය මහතා පක්ෂ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
එමෙන්ම ශ්‍රීමත් රාසීක් ෆරිඩ් මහතා සහ ජේ.ආර්. ජයවර්ධන මහතා සම භාණ්ඩාගාරිකවරුන් ලෙස පත් කරනු ලැබීය. පක්ෂයේ නිල වර්ණය ලෙස හරිත වර්ණයත්, සලකුණ ලෙස අලියාත් තෝරාගෙන තිබේ.
පක්ෂය ආරම්භ කළ 1946 වසරේ සිට මේ දක්වා ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස ඇතුළු ප්රමුඛ පෙළේ නායකයින් රැසක් එහි නායකත්වය දරා ඇත.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා වසර ගණනාවක් පුරා එම ධුරයේ කටයුතු කරමින් සිටී.