මැයි දිනයට එජාපයෙන් බුරියානි දන්සලක්

Report

එජාපය මෙවර මැයි දිනය වෙනුවෙන් රැළියක් හෝ පෙළපාළියක් නොපැවැත්වීමට තීරණය කර ඇති බව සදහන් වේ.

කම්කරු දිනය යෙදෙන මැයි පළමුවැනිදා දිනයේම පොහොය දිනය යෙදී ඇති හෙයින් මේ තීරණයට එළැඹි බව එජාප උප සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර තිබේ.

ඒ වෙනුවට වැඩ කරන ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළ ජාතික සේවක සංගමයේ පුරෝගාමීන් ඇගයීමේ වැඩසටහනක් ඇතුළුව තවත් වැඩසටහන් කිහිපයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව මැයි මස 01 වැනිදා උදේ 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී වෘත්තීය සමිති නායකයන් ඇගයීමේ උලෙළක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබයි.

එහිදී කම්කරු අයිතීන් රැක ගැනීමටත්, දිනාදීමටත් කැපවූ වෘත්තීය සංගම් නායකයන් 250ක් ඇගයීමටත් තිළිණ ප්‍රදානය කිරීමටත් නියමිතය.

මැයි දිනයට පෙර දින (අප්‍රේල් 30) සවස 5.30 සිට මරදාන බුහාරි ආයතනයේ අනුග්‍රහය ඇතිව බුරියානි දන්සලක් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මැයි දිනයට පෙරදා රාත්‍රීයේදී පූර්ණ අලුත්වැඩියාවකට ලක්කළ ජාතික සේවක සංගම් ගොඩනැඟිල්ලේ දී පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමට සූදානම් කර තිබේ.

මැයි දිනය දා භික්ෂුන් වහන්සේ 59ක් විෂයෙහි දානමය පින්කමක් පැවැත්වෙයි.