පාතාලයෙන් අමුතුම උපායක් - STF නමට මොනවයින් මොනවා වෙයිද..?
මේ වනවිට කරුණු අනාවරණ වී ඇත්තේ, මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදුකරන පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්‍රියාකාරී නිලධාරීන් ඉලක්ක කර පාතාල කල්ලි සාමාජිකයන් සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවටයි.
ක්‍රියාකාරී නිලධාරීන්ට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කර ඔවුන්ව එම තනතුරුවලින් ඉවත් කිරීමට අවශ්‍ය මතවාදී බලපෑම ඇතිකිරීම බවයි, එම අනාවරණය කරගත් කරුණු අනුව හෙළිවී ඇත්තේ.
මෙරට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීමට සුවිශේෂී කාර්යභාරයක් සිදුකරන පොලිස් විශේෂ කාර්ය බලකාය, පසුගිය මාස හතරක කාලය තුළ පමණක් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට සමත් විය.
හෙරොයින් කි.ග්‍රෑ. 350ක්, අයිස් කි.ග්‍රෑ. 140ක්, කේරල ගංජා කි.ග්‍රෑ. 6,860ක් ඇතුළු විවිධ විෂ මත්ද්‍රව්‍ය ඒ අතර විය. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ ආසන්තම වැටලීම වූයේ මීට දින කිහිපයකට පෙර උණාකූරුවේ ශාන්ත නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය තොගයක් මීගොඩ ප්‍රදේශයේදී සිය භාරයට ගැනීමය.
එමෙන්ම පාතාල කල්ලි සාමාජිකයන් රැසක්ද ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පාතාල මර්දන මෙහෙයුම් ද අඛණ්ඩව සිදුකරනු ලබයි.
ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත්තේ, ඒ හේතුවෙන් රත්ගම විදුර, ශිරාන් බාසික්, මරණ දඬුවම හිමිව සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ පුත්‍රයා වන මලීශ ගුණරත්න, බෙලරූස් හී අත්අඩංගුවේ පසුවන ලොකු පැටී, බටුවත්ත චාමර හා කංජිපානි ඉම්රන් යන අයගේ මෙහෙයවීමෙන් මේ වනවිට රුපියල් කෝටි 6ක පමණ මුදලක් වියදම් කර සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති බවටයි.
ඔවුන් විදෙස්ගතව සිට යූ ටියුබ් නාලිකා කිහිපයක් පවත්වාගෙන යන පිරිස්වෙත එම මුදල් ලබාදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්‍රියාකාරී නිලධාරීන් පිළිබඳව සමාජයේ පවතින විශ්වසනීයත්වය බිඳහෙලීම සඳහා අසත්‍ය පුවත් ප්‍රචාරය කරන ලෙස දන්වා ඇති බව වාර්තා වේ.
එමගින් අදාළ නිලධාරීන් පිළිබඳව වැරදිමතයක් සමාජය තුළ ඇති කර ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබාදී තම ජාවාරම් කටයුතු දිවයින තුළ බාධාවක් නොමැතිව කරගෙන යාම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා පාතාල කල්ලි සාමාජිකයන්ගේ අරමුණ බවද ආරක්ෂක අංශ පවසයි.