තංගල්ලෙන් මතු වුණ මත්ද්‍රව්‍යවල අයිතිය පාතාල ලොක්කෙක්ට - පැටිකිරිය එළියට
තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් බව විමර්ශනවලදී හෙළිව ඇති බව වාර්තා වේ.
එසේ තොරතුරු අනාවරණය වී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී බව සඳහන්.
එසේම මේ පිරිස වයස අවුරුදු 24 ත් 56ත් අතර වයස්වල පසුවන දෙවුන්දර, දෙවිනුවර, සුල්තානාගොඩ සහ ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පවසයි.
එමෙන්ම සැකකරුවන් සතුව තිබී අයිස් ග්‍රෑම් 19කට අධික ප්‍රමාණයක්, අශ්වබල 40 බෝට්ටුවක්, මෝටර් රථයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකතන 05ක් පොලීසිය තම භාරයට ගෙන ඇත.
ඒ අනුව අඳාළ සැකකරුවන් වැඩිදුර විමර්ශන වෙනුවෙන් කොටවිල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබෙන අතර වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකයි.
පෙරේදා දින රාත්‍රියේ තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී පාර්සල් 51ක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 840කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවා.
එයට කිලෝග්‍රෑම් 670කට අධික අයිස්, කිලෝග්‍රෑම් 12 කට අධික හෑෂ් සහ කිලෝග්‍රෑම් 156 කට අධික හෙරොයින් ප්‍රමාණයක් අයත් වුණා.
එසේම මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට කටයුතු කළා.
අනතුරුව මෙම උර තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට නියෝග ලබා දෙන මෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතා අවසර ලබාදී ඇත.
එසේම මෙම මත්ද්‍රව්‍ය තොගය වරාය භූමියට ගෙන ආ පසු එහි සැරිසරමින් සිටි සුනඛයින් ඊයේ පස්වරුවේ සිට අසාමාන්‍ය හැසිරීමක් පෙන්නුම් කර ඇති අතර ධීවරයින් සැකකරන්නේ තංගල්ල ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කිසියම් ආකාරයකින් ජලයට මිශ්‍රවීමෙන් පසු ඒවා පානය කර ඇති බවටයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද උදෑසන එහි පැමිණි සිටි අතර එහිදී සුනඛයින් අසළට ළංවීමෙන් වළකින ලෙසට ඔහු උපදෙස් ලබා දී තිබෙනවා.
එසේම මේ පිළිබඳව පශු වෛද්‍ය කාර්යාලය දැනුම්වත් කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
