"ජාතික ආරක්ෂාව වෙනුවෙන් ට්‍රම්ප්ට වුණත් එරෙහි වෙනවා" - බ්‍රිතාන්‍යයේ නව අගමැතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාව සහ ජාතික අභිලාෂයන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වුවහොත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණවලට එරෙහිව වුවද ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට පසුබට නොවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්නම් ප්‍රකාශ කර තිබේ.
ධුරයට පත්වීමෙන් අනතුරුව බීබීසී නාලිකාව සමඟ පැවති සිය පළමු ප්‍රධාන රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වූ පළමු දුරකථන සංවාදය සුහදශීලීව සිදු වූ බවයි.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්නේද යන ප්‍රශ්නයට සෘජු පිළිතුරක් ලබාදීමෙන් ඔහු වැළකී සිටි අතර, වර්තමාන ලෝකය වේගයෙන් වෙනස් වන බැවින් තත්ත්වයන්ට අනුව තීරණ ගැනීමට සිදුවන බවද පැවසීය.
බ්‍රිතාන්‍යයේ යහපතට අනුකූල යැයි හැඟෙන ඕනෑම අවස්ථාවක ට්‍රම්ප්ගේ ස්ථාවරයට වෙනස් මතයක් දැරීමට සහ එය විවෘතව ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බව අවධාරණය කළ බර්නම්, ඕනෑම රටක නායකයෙකුගේ මූලික වගකීම වන්නේ තම රටේ ජාතික අභිලාෂයන් ආරක්ෂා කිරීම බව සඳහන් කළේය.
එමෙන්ම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරානය සම්බන්ධ ප්‍රතිපත්ති සහ එම කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව තමන් කනස්සල්ලෙන් පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් සිය අදහස් අවශ්‍ය අවස්ථාවලදී සෘජුව ප්‍රකාශ කරන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.