උදය ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - “2029 ජනාධිපතිවරණයට ඉතිරි වන්නේ තිදෙනයි”
බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (7) පැමිණි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්, වත්මන් ආණ්ඩුව විපක්ෂය දැඩි ලෙස මර්දනය කරමින් සිටින බවට චෝදනා කළේය.
එහිදී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
“මේ අය දැනටමත් කියලා තියෙනවා ලබන පාර ජනාධිපතිවරණයේ ජනාධිපතිවරණයට ඉතුරු වෙන්නේ පෙරටුගාමී පක්ෂයේ කුමාර ගුණරත්නම්, ජනසෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමි සමඟ අනුර කුමාර දිසානායක පමණයි කියලා. අන් සියලු දෙනාම අත්අඩංගුවට අරන්, විපක්ෂයේ අත්අඩංගුවට සිටියදී තනි අශ්වයාගේ තරගයක් බවට 2029 ජනාධිපතිවරණය පත් කිරීමේ දුෂ්ට උත්සාහයක තමා ආණ්ඩුව යෙදිලා ඉන්නේ. ඒකට මේ රටේ ජනතාව කෙතරම් විරුද්ධද කියන එක 12 වෙනිදා අනුරාධපුරයට පක්ෂ භේදයකින් තොරව ගලන ජන ගඟෙන් ආණ්ඩුවටම තේරුම් ගන්න පුළුවන්. දැන් මේ ක්‍රමයට ගියොත් ඉතින් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය තියනවා. ඔය සමහරු කියනවා වගේ ජනමත විචාරයක් ගැන කතා අපි කියන්නේ නැහැ. අපි හැමදාම කිව්වේ මේ අය 2029 ජනාධිපතිවරණය තියනවා, ඒක තනි අශ්වයාගේ තරගයක් බවට පත්වෙන්න, තමන්ට තර්ජනයක් නොවන අපේක්ෂකයන්ට අවස්ථාව ඉතිරි කරලා, තමන්ට තර්ජනයක් විය හැකි හැමෝම මොනවාහරි චෝදනාවක් දාලා අත්අඩංගුවට ගැනීමයි සිදු කරන්නේ. විපක්ෂයේ සමහරු හිතාගෙන ඉන්නවා, අරුන් දැම්මාට ඉතින් අපිව දාලා නැහැනේ, අපි ඔවා ගැන කතා කරන්න නරකයි කියලා. ඒ විපක්ෂයේ උදවියට මා සිහිපත් කරනවා මාර්ටින් නියමුලර් පියතුමා නාට්සිවාදීන් ගැන කිව්ව කවිය. ඒ කවිය අවසන් වෙන්නේ, ඒ කවිය කෙටියෙන් කිව්වොත්, අන් අය අත්අඩංගුවට ගද්දී, අන් අය මරා දමන්න සොයාගෙන එද්දී, මං ගාවට ආවේ නැහැනේ, මං මොකටද කතා කරන්නේ’ කියලා නිහඬව හිටියා. අවසානයේ ඔහුව සොයාගෙන එන විට ඔහු වෙනුවෙන් කතා කරන්න කිසිවෙක් ඉතිරිවෙලා හිටියේ නැහැ. තාමත් මුනිවත රකින අයට කියන්න තියෙන්නේ ඒක.”