හදිසි ආපදාවලට මුහුණ දෙන්න ඇමරිකාවයි ලංකාවයි එකතු වෙයි - 'ඇට්ලස් ඒන්ජල් II' අභ්‍යාසය ඇරඹේ!

Report

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ආපදා ප්‍රතිචාර අභ්‍යාසයක් වන ‘ඇට්ලස් ඒන්ජල් II’ අද ආරම්භ කර ඇති අතර, එය සැප්තැම්බර් 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ආපදා අවස්ථාවලදී දෙරටේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම අභ්‍යාසයට එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් ද එක්ව සිටිති.

C-130 ගුවන් යානා නඩත්තුව, නාගරික සෙවීම් හා ගලවා ගැනීම්, සිදුවීම් විධාන පද්ධති, ඉදිකිරීම් ඉංජිනේරු කටයුතු, නායයෑම්වලට ප්‍රතිචාර දැක්වීම සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික හා පුපුරන ද්‍රව්‍ය ආශ්‍රිත උපද්‍රව කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් මෙහිදී පුහුණුව ලබාදෙනු ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර සහ මහනුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම අභ්‍යාසයට මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාව සහභාගී වන අතර, එක්සත් රාජධානිය සහ බංග්ලාදේශය නිරීක්ෂකයින් ලෙස එක්ව සිටී.

එක්සත් ජනපද තානාපති එරික් මේයර් සඳහන් කළේ, ඇට්ලස් ඒන්ජල් අභ්‍යාසය දෙරට අතර හවුල්කාරිත්වය ප්‍රායෝගිකව පෙන්නුම් කරන අවස්ථාවක් බවයි.

ඇමරිකානු සහ ශ්‍රී ලාංකික කණ්ඩායම් එක්ව පුහුණුව ලබමින්, විශේෂඥ දැනුම හුවමාරු කරගනිමින් සහ එකිනෙකාගෙන් ඉගෙන ගනිමින් ජීවිත හා ජීවනෝපායන් ආරක්ෂා කිරීමට අවශ්‍ය සූදානම ශක්තිමත් කරන බව ඔහු පැවසීය. ස්වාභාවික විපත්වලට දේශසීමා නොමැති බැවින්, මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා බහුජාතික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අභ්‍යාසයේ තවත් අරමුණකි.

මෙම අභ්‍යාසය 2021 වසරේදී එක්සත් ජනපද රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ වූ සහයෝගීතාව මත පදනම් වී තිබේ. 2025 නොවැම්බර් මාසයේදී අත්සන් කළ අවබෝධතා ගිවිසුමක් මගින් ආපදා ප්‍රතිචාර, ගුවන් සේවා සහ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ඇත.

ඇට්ලස් ඒන්ජල් II යටතේ සංස්කෘතික හුවමාරු වැඩසටහන් ද පැවැත්වෙන අතර, වෘත්තීය සහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සංගීතඥයන් ශ්‍රී ලාංකික සගයන් සමඟ එක්ව ප්‍රසංග ඉදිරිපත් කිරීමට නියමිතය.

හදිසි ආපදා තත්ත්වයන් ඇතිවීමට පෙර දෙරටේ කණ්ඩායම් එක්ව පුහුණුව ලැබීම, සැබෑ අර්බුදකාරී අවස්ථාවලදී වඩාත් කාර්යක්ෂම හා සුමට සම්බන්ධීකරණයක් සහතික කිරීමට උපකාරී වනු ඇති බව එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි.

IOC එකෙනුත් ජනතාවට සහනයක් පෙට්‍රල් මිල අද ඉඳන් පහළට - අලුත් මිල ගණන් මෙන්න

IOC එකෙනුත් ජනතාවට සහනයක් පෙට්‍රල් මිල අද ඉඳන් පහළට - අලුත් මිල ගණන් මෙන්න

2025 දෙසැම්බර් මාසයේදී එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා හමුදා එක්ව C-130J ගුවන් යානා භාවිත කරමින් අත්‍යවශ්‍ය සැපයුම් ප්‍රවාහනය කළ අවස්ථාවද දෙරටේ මෙම සහයෝගීතාවයේ ප්‍රායෝගික ප්‍රතිඵලයක් ලෙස පෙන්වා දී තිබේ.