මාස දෙකක විදුලි බිල්පත එකවර එන අලුත් සෙල්ලම - ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධිලු!
හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන්ට ගතවූ මාස දෙකකට අදාළ විදුලි බිල්පත් මනු කියවන්නා විසින් ලබාදීම හේතුවෙන් එම පාරිභෝගිකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇත.
කෘෂිකර්මාන්තය හා කුලී රැකියාවලින් ජීවනෝපාය උපයන රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන් විශාල පිරිසක් මෙලෙස මාස දෙකකට අදාළ විදුලි බිල්පත් ලැබීම නිසා දැඩි පීඩාවකට ලක්ව සිටිති.
අවසන් වරට 2025.01.25 දින විදුලි බිල්පතක් ලබාදී ඇති අතර, එය ගෙවීමෙන් පසු මාස දෙකකට ආසන්න කාලයක් ගත වීමෙන් අනතුරුව ඊයේ (22) දින මනු කියවන්නා විසින් විදුලි බිල්පත ලබාදීම හේතුවෙන්, පාරිභෝගිකයන්ට ලබාදී ඇති සහන කිසිවක් මෙම මාස දෙකක බිල්පත නිකුත් කිරීම තුළින් ලැබී නැති බව රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන් පවසති.
මේ සම්බන්ධයෙන් මනු කියවන්නාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ, මීට පෙර රුවන්පුර ජනපදයේ මාසිකව විදුලි බිල්පත් ලබාදුන් මනු කියවන්නා හදිසියේ රෝගාතුර වීම නිසා, තමන්ට මෙම ප්‍රදේශයේ විදුලි බිල්පත් නිකුත් කිරීමේ වගකීම ගිනිගත්හේන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය විසින් පවරා ඇති බවයි.
අපහසුතාවට පත් විදුලි පාරිභෝගිකයන් සඳහන් කරන්නේ, විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාද වුවහොත් නිවෙස්වල විදුලි සැපයුම විසන්ධි කරන බවත්, ඊයේ (22) දින ලබාදුන් බිල්පත ගෙවීමට නොහැකි තත්ත්වයක් තමන්ට ඇති වී ඇති බවත්ය.
