භාණ්ඩාගාරයේ ට්‍රිලියනක් ඉතිරිව තිබෙන කතාවනම් කටකතාවක් - බන්දුල කියයි

Report

ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයේ ට්‍රිලියනක් පමණ ඉතිරිව තිබෙන බවට ඇති කථාව "හුදු කතන්දරයක්" බවත්, ආර්ථික විද්‍යාවට අනුව රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිවිය නොහැකි බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) පැවසීය.

නුගේගොඩදී පැවති මාධ්‍ය හමුවකදී ‘IMF ප්‍රකීර්ණ විසදුම්’ කෘතිය පිළිබඳව දැනුවත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙරට ප්‍රධාන ජාතික ගැටලු දෙකක් ඇති බවත්, එකක් වන්නේ ආණ්ඩුවක එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම බවත් ඒ මහතා පැවසීය. 1950, 1951 සහ 1977 අවුරුදු තුන හැරුණු කොට, අබුදය ඇතිවන තෙක් සහ වර්තමානයේද ආණ්ඩුවට එදිනෙදා වියදම් සඳහා ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ඔහු අවධාරණය කළේය.

ජංගම ගිණුමේ (වර්තන ගිණුමේ) හිඟයක් තිබෙන විට භාණ්ඩාගාරයේ කිසිදු මුදලක් ඉතිරි නොවන බවත්, එබැවින් කවුරු ආණ්ඩු කළත්, කවුරු ජනාධිපති වුණත් එදිනෙදා වියදම් පවත්වාගෙන යෑමට ආදායමක් නොමැති නිසා දේශීය හා විදේශීය ණය ගැනීම අනිවාර්ය බවත් ගුණවර්ධන මහතා පැහැදිලි කළේය.

"මෙතෙක් කිසිදු ආණ්ඩුවක් ණය නොගෙන කටයුතු කර නැත. අනාගතයේද එවැනි ආණ්ඩුවක් ඇති නොවේ"

යැයිද ඔහු සඳහන් කළේය.

රජයේ ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර, භාණ්ඩ හා සේවා මිලදීගැනීම් වැනි එදිනෙදා වියදම් දැරූ පසු ප්‍රාථමික ගිණුමේ 2.3% ක අතිරික්තයක් තිබෙන බවත්, එහෙත් ණය පොලී ගෙවීමෙන් පසු ජංගම ගිණුමේ හිඟයක් ඇතිවන බවත් ඔහු පැහැදිලි කළේය.

ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5ට හෝ ඊට අඩු මට්ටමකට ගෙන ඒමට IMF ඇතුළු ජාත්‍යන්තර ආයතන උත්සාහ කරන බවද ඒ මහතා සඳහන් කළේය.