චාමර සම්පත් විදේශගත වෙන්න හදිසියේම ගොනුකළ මෝසමට ලැබුණු තීන්දුව
දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (18) මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වන චාමර සම්පත් දසනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විත්තිකරුට විදේශ සංචාරයක නිරත වීමට අවශ්‍යතාවක් පවතින බැවින් ඔහුට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණය අදාළ ඉල්ලීම සලකා තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළ බව සඳහන් වේ.
2016 වසරේ ඌව පළාත් සභාව සඳහා රේඛනය කළ චෙක්පතක් සිය පෞද්ගලික ගිණුමක තැන්පත් කර ගැනීම මඟින් දූෂණ වරදක් සිදු කළ බවට චෝදනා කරමින්, එවක ඌව පළාත් සභාවේ කටයුතු කළ චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.