අලි ගැටුම් නිසා දුම්රිය නවතී - රජයේ මැදිහත්වීමක් ලැබෙයිද?
මහව සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කන්කසන්තුරේ යන මාර්ගවල ධාවනය වන භාණ්ඩ සහ තෙල් ප්‍රවාහන දුම්රිය සේවා ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසයි.
වනඅලි ගැටුම් නිසා ඇති වන දැඩි බාධාවන් සහ හානි හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, හෙට (25) රාත්‍රියේ ධාවනය වන තැපැල් දුම්රිය සේවාව ද ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේය.
සංගමයේ ලේකම්වරයා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ,
“මේ වන විට දුම්රියේ අලි ගැටීම නිසා දුම්රිය ධාවනයට විශාල බාධාවක් එල්ල වෙලා තියෙනවා. මහව සිට ත්‍රිකුණාමලයටත්, මහව සිට මඩකලපුවටත්, මහව සිට කන්කසන්තුරේටත් වනඅලි ගැටීම නිසා අලින්ට මෙන්ම දුම්රියටත් හානි වෙනවා. දුම්රිය රියැදුරන් ලෙස මේක අපිට පාලනය කරන්න බැහැ. ඒ නිසා දුම්රිය ධාවනයට විශාල බාධාවක් වෙලා. ක්ෂණිකව දුම්රිය නතර කරගැනීමේ හැකියාවක් නැති නිසා අපිට මේකට වගකීමක් දෙන්න බැහැ.
වන සතුන් දුම්රියේ ගැටීමේ හේතුව නිසා ඉදිරියේදී මේ කලාප හරහා දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්වෙලා. මේක ලොකු ගැටලුවක්. දුම්රිය මගීන්ට ඒ නිසා වේලාවට දුම්රියේ ගමන් කිරීමට නොහැකියි.”
වසර ගණනාවක් තිස්සේ මෙම ගැටලුව පිළිබඳව රජයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත්, නමුත් මේ දක්වා කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති බවත් වියන්දූව මහතා වැඩිදුරටත් පැවසීය.
“වසර ගණනාවක් තිස්සේ අපි රජයටත් දෙපාර්තමේන්තුවටත් මේක දැනුම් දුන්නා. මේකට රියැදුරන්ට වගකියන්න බැහැ. මේකට මොකක් හරි පාලනය කරලා දෙන්න කියා ඉල්ලීම් කළා. නමුත් මේ වෙනකම් කිසිම සාධනීය මට්ටමක දෙයක් සිදු වුණේ නෑ.”
මෙම තීරණය නිසා භාණ්ඩ සහ තෙල් ප්‍රවාහනයට දැඩි බලපෑම් ඇති විය හැකි අතර, මගීන්ට ද බලපෑම් එල්ල වන බව සඳහන් වේ.