පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ නිවේදනයක් - වෙළෙඳ ප්‍රජාව අනිවාර්යයෙන් පිළිපැදිය යුතු නීතියක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වෙළෙඳ ප්‍රජාවට දැනුම්දී ඇත්තේ විකිණීමට, ගබඩා කිරීමට හෝ බෙදාහැරීමට තබා ඇති භාණ්ඩවල මූලාශ්‍රය තහවුරු කළ හැකි නිසි ලේඛන හෝ බිල්පත් අනිවාර්යයෙන්ම ළඟ තබාගත යුතු බවයි.
නිෂ්පාදකයින්, ගබඩා හිමියන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ සියලුම වෙළෙඳුන් සඳහා මෙම නීතිය 2022 අප්‍රේල් 27 දින සිට ක්‍රියාත්මක වෙමින් පවතින බව අධිකාරිය විසින් නිකුත් කර ඇති විධාන අංක 83 යටතේ සඳහන් වේ.
ඊට අනුව සැපයුම්කරුගේ නම සහ ලිපිනය, මිලදී ගත් දිනය සහ මිලදී ගත් මිල, භාණ්ඩයේ වර්ගය, ප්‍රමාණය සහ අදාළ නම් කාණ්ඩ අංකය යන තොරතුරු බිල්පතක අඩංගු විය යුතුය. “භාණ්ඩ තියෙනවා, හැබැයි කාගෙන් ගත්තද කියන්න බෑ” යන තත්ත්වය ව්‍යාපාරයකට විශාල අවදානමක් බව අධිකාරිය පවසයි. විශේෂයෙන් ආනයනික භාණ්ඩ සඳහා නිසි බිල්පතක් නොමැති වීමෙන් සැපයුම් මාර්ගය සොයාගැනීම අසීරු වේ.
එවැනි අවස්ථාවල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට අදාළ වෙළෙන්දාගෙන් ආරම්භ කර තොග වෙළෙඳපොළ සහ ආනයනකරු දක්වා සැපයුම් දාමය පරීක්ෂා කිරීමට සිදුවේ.
වෙළෙඳපොළ පරීක්ෂණ සහ වැටලීම්වලදී මෙම ලේඛන පරීක්ෂා කෙරෙන අතර, නීතිය උල්ලංඝනය කරන අවස්ථාවලදී භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව අධිකාරිය අවධාරණය කරයි.
මෙම නීති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ නිසි ලෙස ලේඛන පවත්වාගෙන යමින්, වගකීමෙන් යුතුව ව්‍යාපාර කරන සාධාරණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම බව අධිකාරිය පෙන්වා දෙන අතර ලේඛන රහිත සහ හඳුනාගත නොහැකි නීති විරෝධී සැපයුම් මාර්ග හරහා භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමද මෙහි ප්‍රධාන කාර්යයක් බව පෙන්වා දී තිබේ.