ආයුර්වේදයේ මහිමය ලොවක් දිනයි - 2026 වසරේ හොඳම සුවතා ගමනාන්තය ශ්‍රී ලංකාවයි
bookRetreats.com විසින් නිකුත් කරන ලද State of Retreats 2026 වාර්තාවට අනුව, 2026 වසර සඳහා ලොව ප්‍රමුඛතම සුවතා (Wellness) ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබේ.
එම වාර්තාවට අනුව, BookRetreats.com වේදිකාවේ ශ්‍රී ලංකාව පිළිබඳ සෙවුම් උනන්දුව වසරින් වසර සියයට 100කින් ඉහළ යාමත් සමඟ, ඕස්ට්‍රේලියාව (85%), මොරොක්කෝව (83%), එංගලන්තය (82%) සහ ස්පාඤ්ඤය (80%) වැනි ජනප්‍රිය ගමනාන්ත අභිබවා ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව ඇත.
BookRetreats.com සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ මෙම කැපී පෙනෙන ඉදිරි ගමනට ප්‍රධාන හේතු ලෙස දිගුකාලීන ආයුර්වේද සම්ප්‍රදාය, සාධාරණ මිල ගණන් සහ ස්වාභාවික සුන්දරත්වය බලපා ඇති බවයි.
එහි දැක්වෙන්නේ මහනුවර ප්‍රදේශයේ සුවතා නිවාඩු පැකේජ ඇමරිකානු ඩොලර් 373ක පමණ මිලකින් ආරම්භ වන අතර, ඒවා යුරෝපයේ සමාන අත්දැකීම්වලට වඩා සැලකිය යුතු ලෙස අඩු පිරිවැයක් දරන බවයි. රටවල් 40ක සංචාරකයින් සඳහා වීසා ගාස්තු අත්හැරීමට ශ්‍රී ලංකාව මෑතකදී ගත් තීරණය ද මෙම වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර ඇති අතර, එම පියවර දිවයින සුවතා සංචාරකයින්ට තවත් ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කර ඇති බව ද පෙන්වා දෙයි.
සුවතා සංචාරක කර්මාන්තයට අමතරව, ලොව විශාලතම වන අලි ඇතුන්ගේ එක්රැස් වීම දැකීමේ අවස්ථාව, නිල් තල්මසුන් නැරඹීම සහ වසර පුරා විවිධ වෙරළබඩ ගමනාන්තයන් භුක්ති විඳීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයන් ලෙසද වාර්තාවේ සඳහන් කර ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ BookRetreats.com වෙබ් අඩවියේ ගමනාන්ත සඳහා ලැබුණු අද්විතීය පිටු නැරඹීම්වල වාර්ෂික වර්ධනය පදනම් කරගෙනය.
මීට අමතරව, 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ එක්සත් ජනපද සංචාරකයින් 1,040 දෙනෙකු සම්බන්ධ කරගෙන සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල ද මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.