හැමෝම කතාවෙන ලංකාවේ ආර්ථිකයට මොකද වුණේ? මේ වසරේදී මෙහෙම දෙයක්..
මුදල් අමාත්‍යාංශයේ වසර මැද මූල්‍ය තත්ත්ව වාර්තාව ඊයේ නිකුත් කෙරුණු අතර පසුගිය වසරේ මුල් භාගයේ වාර්තා වූ සියයට 7.3ක හැකිලීමට සාපේක්ෂව මේ වසරේ මුල් භාගයේ දී ආර්ථිකය සියයට 5.0කින් ප්‍රසාරණය වී ඇති බව එහි සදහන්.
ඒ අනුව මේ වසරේ පළමු භාගයේ දී කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා ඇතුළු ආර්ථිකයේ සියලුම අංශ ප්‍රසාරණය වී තිබෙනවා.
එම වාර්තාවේ දැක්වෙන්නේ, කෘෂිකර්ම ක්ෂෙත්‍රය යටතේ ප්‍රධාන වශයෙන් ධාන්‍ය වගාව, මිරිදිය මසුන් ඇල්ලීම සහ සත්ව නිෂ්පාදනය වර්ධනය වීම හේතුවෙන් මේ වසරේ පළමු භාගයේදී සියයට 1.4 කින් වර්ධනය වී ඇති බවයි.
ඉදිකිරීම්, පතල් කැණීම් සහ කැණීම් හා නිෂ්පාදන කර්මාන්තය ඇතුළු සියලුම උප අංශවල වාර්තා වූ වර්ධනය හේතුවෙන් කර්මාන්ත අංශය ද මේ වසරේ පළමු භාගයේදී සියයට 11.4කින් ඉහළ ගොස් තිබෙනවා.
එසේම, සේවා අංශය ද මේ වසරේ මුල් භාගයේදී සියයට 2.6කින් වර්ධනය වී ඇති අතර ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අවධමනය වාර්තා වීම හේතුවෙන් 2015 සැප්තැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රධාන උද්ධමනය සෘණාත්මක වී තිබෙනවා.
මේ අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ප්‍රධාන උද්ධමනය, මේ වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 0.5ක අවධමනයක් වාර්තා වී ඇති අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ප්‍රධාන උද්ධමනය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 0.2ක අවධමනයක් වාර්තා කර තිබෙනවා.