අරගලයේ මතකයන් තැන්පත් කරමින් කෞතුකාගාරයක්

By Sewvandhi Oct 29, 2024 10:13 AM GMT
Report

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් පවසන්නේ, බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් නෙරපූ අරගලයට ගෞරව දැක්වීම සඳහා ඇය ජීවත් වූ සුඛෝපභෝගී නිල නිවස අරගලයේ මතකයන් තැන්පත් කළ කෞතුකාගාරයක් බවට පත් කරන බවයි.

යෝජිත කෞතුකාගාරය ෂෙයික් හසීනාගේ පාලනයේ දුර්වලතා සහ ඇයට අග්‍රාමාත්‍ය ධුරය අත්හැර දැමීමට සිදු වූ බංග්ලාදේශ ජාතිකයන්ගේ කේන්තිය පිළිබඳ මතකයන් ආරක්ෂා කර තබනු ඇතැයි මුහම්මද් යුනුස් හසීනා ජීවත් වූ සුඛෝපභෝගී නිල නිවසේ සංචාරය කරමින් පවසා තිබෙනවා.

පසුගියදා අගෝස්තු 5 වැනිදා ,රජයේ රැකියා කෝටාවට විරුද්ධව බංග්ලාදේශ විශ්ව විද්‍යාල සිසුන් පෙරමුණ ගෙන ආරම්භ කළ විරෝධතා හේතුවෙන් ෂෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී හෙලිකොප්ටරයෙන් ඉන්දියාවට පළා ගියා.

හසීනාගේ රජය ඉවත් වීමෙන් පසුව පත් වූ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස 84 හැවිරිදි මුහම්මද් යුනුස් තෝරා පත්කර ගත්තා.

මේ වනවිට අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අධිකරණය ෂෙයික් හසීනාට විරුද්ධව වරෙන්තු නිකුත් කර ඇති අතර, ඇයගේ වසර 15ක පාලන කාලය තුළ විවිධ දූෂණ හා අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා එල්ල වෙනවා.

එමෙන්ම, හසීනාට ධුරයෙන් ඉවත්වීමට සිදු වූ විරෝධතාවලදී බංග්ලාදේශ ජාතිකයෝ 700කට ආසන්න පිරිසක් මිය ගියා.