මාලිමාවට ඊළග අවුරුද්දේ 3%වත් නෑ - උදය ගම්මන්පිල
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
"කළු ගලේ ඔළුව ගහ ගන්න එපා ඔළුව චප්ප වේවි කියා හැමෝම අපිට අවවාද කරන විට අපි හිතුවක්කාර විධියට අවදානම නොතකා මාස අටක් නොකඩවා කළු ගලේ ඔළුව ගැහුව්වා. මෙන්න ඔළුව චප්ප වෙනවා වෙනුවට කළු ගල පුපුරා හැලෙන්න දැන් පටන් අරන් තියෙනවා. මේ පුංචි ඡන්දය ප්‍රතිඵලය පැහැදිලි කළ හැකි සරලම විධිය එයයි.
ආණ්ඩුව වැඩ වරද්දා ගත්තේ තමන් කළ පළමු පත්වීම වුණු ජනාධිපති ලේකම් පත්වීමෙන්. ඒත් එක්කම කළ තුන්වන පත්වීම වුණු මහජන ආරක්ෂක ලේකම් පත්වීමෙන්. ආණ්ඩුව පත් වෙලා සතියක් ගත වෙන්න කලින් අපි මේ පත්වීම් විවේචනය කලා.
සමහරු අපට කිව්වේ ආණ්ඩුව කුණු වෙන තුරු ටික කලක් නිහඬව ඉන්න කියලා. නමුත් අපි තීරණය කලේ ආණ්ඩුවත් සමග රටත් කුණු වෙන්න දෙන්න බෑ. අපි ආණ්ඩුව වැරැද්දක් කළ වහාම ඒක පෙන්වා දෙනවා. ආණ්ඩුව නිහතමානි නම් වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යාවි. ආණ්ඩුව උද්ධච්ඡ නම් වැරැද්ද රැක ගෙන තමන් විනාශ වේවි. ඒක ආණ්ඩුවේ තීරණයක්. විපක්ෂයේ වගකීම තමයි වැරදි පෙන්වා දෙන එක. අපි ඒක ඉටු කලා.
පසුගිය දෙසැම්බර් මාසයේ සිට අපි අඛණ්ඩව කියූ දෙයක් තමයි පුංචි ඡන්දයේ දී පළාත්පාලන ආයතන විශාල ගණනාවක බහුතර බලය කාටවත් ලැබෙන්නේ නෑ. ඒ ප්‍රතිඵලය විසින් විපක්ෂයට සමගි වෙන්න බල කරනවා කියලා. අද ඒ අනාවැකිය සැබෑ වෙලා පලාත්පාලන ආයතන 339න් 170ක කාටවත්ම බහුතරය ලැබිලා නෑ. ඒ වගේම අපි කිව්වා මාලිමාවේ ඡන්ද ප්‍රතිශතය බරපතල ලෙස පහත වැටෙනවා. බොහෝ දුරට ජනපතිවරණයේ මට්ටමට ඒවි කියලා. ඒ අනාවැකියත් සැබෑ වෙලා.
ජනපතිවරණයේ දී 42%ක් ගත්තු මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී 63%ක් දක්වා ඉහළ ගොස් මේ මැතිවරණයේ දී 43% ක් දක්වා පල්ලම් බැහැලා තිබෙනවා. අපේ තුන්වන අනාවැකිය තමයි මාලිමාව ගැන ජනතාව කලකිරුණත් වෙනත් කිසිම පක්ෂයකට ජන ආකර්ෂණය ලැබිලාත් නෑ. ඒ නිසා මාලිමාව අත් හැරපු ජනතාව බහුතරයක් ගෙදර නතර වෙනවා.
එහි ප්‍රතිඵලය වෙන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම බරපතල ලෙස පහත වැටෙනවා. ඒ අනාවැකියත් සැබෑ වුණා. මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලක්ෂ 68.65ක් නැති නම් ලක්ෂ 69ක් ලබා ගත්තා. දැන් ඒක පුංචි ඡන්දයේ දී ලක්ෂ 45 දක්වා ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ කියන්නේ මාස හයක් ගත වෙන්නත් කලින් ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩු වෙනවා. මාලිමාවේ මේ පසුබෑම ලෝක ඉතිහාසයේ වාර්තා වන දැවැන්තම දේශපාලන පසුබෑමයි.
මීට කලින් කිසිම රටක කිසිම කලක මාස හයක් ඇතුලත තම ඡන්ද පදනම 1/3කින් නැතිනම් 34%කින් කඩා වැටීමක් වාර්තා වෙන්නේ නෑ. අපි වැරදි නම් මාලිමා නායකයින් “නෑ. අහවල් රටේ අහවල් පක්ෂයේ ඡන්ද පදනම මාස හයක් ඇතුලත මීටත් වඩා කඩා වැටුණා” කියලා අපට කියන්න. අපි නිවැරදි වෙන්නම්. මාස හයකට ඡන්ද ලක්ෂ 24ක් අඩු වෙනවා කියන්නේ තව මාස හයකින් ඡන්ද පදනම ලක්ෂ 21 වෙනවා කියන එකයි.
තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3% දක්වා පහත වැටෙනවා කියන එකයි. ඒ නිසා මේ ආණ්ඩුව නිසි දේශපාලන අවබෝධයෙන් කටයුතු කරනවා නම් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි."
ඔන්න ඔය විදිහට තමයි ඒ සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වලා තිබුණේ.
