ආණ්ඩුව ගොවියා අනාථ කළා - ජීවිත නැති කර හෝ බලය රැකීමට මේ ආණ්ඩුව සූදානම්
ජනාධිපතිවරණයේදී ගොවියා රැක ජීවත් කරන බවට පොරොන්දු වුවත්, වත්මන් ආණ්ඩුව බලය රැක ගැනීමට ජීවිත ලක්ෂයක් පූජා කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ කලාවැව, නල්ලච්චියේ පැවති ‘ගමින් ගමට දොරින් දොරට’ වැඩසටහනකදීය.
“මැතිවරණයේදී ලක්ෂ 220ක් රකිනවා කිව්වත්, අද ආණ්ඩුව ජීවිත නැති කර හෝ බලය රැකීමට සූදානම්. මිනිමරලා ආණ්ඩුව රකින්න, ජීවිත නැති කරලා රකින්න ඔවුන් කියනවා. එය කණගාටුවට කරුණක්”
ගොවියා අනාථ තත්ත්වයට පත්ව ඇති බවත්, ගුණාත්මක පොහොර, වල් නාශක, බීජ නොමැතිකම, පොහොර සහනාධාර මුදල් කලට නොලැබීම, වගා හානිවලට වන්දි හෝ රක්ෂණ ක්‍රමවේදයක් නොමැතිකම සහ වන අලි-මිනිස් ගැටුම නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණදෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
“විපක්ෂයේදී රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා, වීවලට සහතික මිලක් පනතකින් ලබාදෙනවා කිව්වත්, බලය ලැබුණු පසු රු. 150 සිට රු. 120ට අඩු වුණා. තෙත වීවලට රු. 90 වැනි සොච්චම් මුදලක් ලැබෙනවා. මේවා වියදම් ආවරණයටවත් ප්‍රමාණවත් නැහැ"
ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට ප්‍රගතිශීලී බලවේග සමඟ එක්වීමට සූදානම් බවත්, එය තනතුරු බෙදා ගැනීමට නොව, ලක්ෂ 220ක ජනතාවට සංවර්ධන යුගයක් උදාකර ජීවිත සුඛිත කිරීමට පමණක් බවත් ඔහු අවධාරණය කළේය.