ලොව මෙතෙක් නොදුටු අමුතුම අස්ථි ව්‍යුහයක් -තායිලන්තයෙන් මීටර් 20ක දැවැන්ත නව ඩයිනෝසෝරයෙක් සොයාගනී

By Kanchana Jul 11, 2026 04:26 AM GMT
Report

තායිලන්තයේ පාෂාණ විද්‍යාඥයින් විසින් රටේ ඊසානදිග කලසින් පළාතෙන් හමු වූ පොසිල මත පදනම්ව, මීට පෙර හඳුනා නොගත් නව ඩයිනෝසෝර විශේෂයක් සොයාගෙන තිබේ. උරගසෝරස් කලසිනෙන්සිස් (Uragasaurus kalasinensis) ලෙස නම් කර ඇති මෙම ශාකභක්ෂක ඩයිනෝසෝරයා වසර මිලියන 150කට පමණ පෙර, අග ජුරාසික් යුගයේ ජීවත් වූ බව විද්‍යාඥයින් විශ්වාස කරයි.

එයට අසාමාන්‍ය ලෙස දිගු බෙල්ලක් තිබූ අතර, සම්පූර්ණ සිරුරේ දිග මීටර් 20ක් පමණ වූ බවට ගණන් බලා ඇත. මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන තායිලන්තයේ මහාසරාකාම් විශ්වවිද්‍යාලයේ ආචාර්ය අපිරාත් නිල්ෆනෆාන් පැවසුවේ, මෙම නව විශේෂය හඳුනා ගැනීමට උපකාරී වූ පොසිල 2008 වසරේදී ප්‍රථම වරට සොයාගත් ස්ථානයකින් ලබාගත් විශාල පොසිල එකතුවක කොටසක් බවයි.

ගුවනේදී ජනේලයක් ගැලවී මගියෙක් එළියට ඇදෙයි - රයන්එයාර් යානයක සිදු වූ මරණීය බියකරු අත්දැකීම

ගුවනේදී ජනේලයක් ගැලවී මගියෙක් එළියට ඇදෙයි - රයන්එයාර් යානයක සිදු වූ මරණීය බියකරු අත්දැකීම

එම ස්ථානය මුලින්ම හඳුනාගෙන තිබුණේ සර්ප කොරපොතු මෙන් පෙනෙන අස්ථි කොටස් කිහිපයක් දේශීය පුද්ගලයෙකු විසින් සොයා ගැනීමෙන් අනතුරුවය. කැණීම් සිදුකළ ෆු නොයි ප්‍රදේශය අග ජුරාසික් යුගයට අයත් විවිධ පොසිල රැසකින් සමන්විත වන අතර, එහි සොයාගත් පොසිලවලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් ඩයිනෝසෝරයන්ට අයත් බව විද්‍යාඥයින් සඳහන් කරයි. එම ප්‍රදේශයෙන් දත්, අස්ථි සහ අනෙකුත් ජීවීන්ගේ පොසිලද හමුවී ඇත. නව විශේෂය හඳුනා ගැනීමට මූලික වූයේ මැද පිටුපස ප්‍රදේශයට අයත් පෘෂ්ඨීය කශේරුකාවක් (dorsal vertebra) වන අතර, එහි දක්නට ලැබුණු සුවිශේෂී ව්‍යුහමය ලක්ෂණ විද්‍යාඥයින්ගේ අවධානයට ලක්විය.

CT ස්කෑන් පරීක්ෂණ මඟින් මෙම ඩයිනෝසෝරයා අතිශයින් දිගු බෙල්ලකින් ප්‍රසිද්ධ මාමෙන්චිසෝරිඩේ (Mamenchisauridae) පවුලට අයත් බව තහවුරු වී තිබේ. මෙම දිගු බෙල්ල විවිධ උසින් පිහිටි ශාක ආහාරයට ගැනීමට උපකාරී වූ බව විද්‍යාඥයින් පවසයි. මෙතෙක් මාමෙන්චිසෝරිඩේ පවුලට අයත් බොහෝ පොසිල චීනයෙන් සොයාගෙන තිබුණද, තායිලන්තයෙන් එවැනි විශේෂයක් හඳුනාගත් පළමු අවස්ථාව මෙය වේ.

ස්කෑන් පරීක්ෂණ මඟින් Y-හැඩැති ලැමිනේ (laminae) අස්ථි ව්‍යුහයක් සහ අද්විතීය වායු-කුහර පද්ධතියක් ඇතුළු වෙනත් විශේෂ ලක්ෂණද අනාවරණය විය. ආචාර්ය නිල්ෆනෆාන් සඳහන් කළේ මෙම ව්‍යුහය "ලොව මෙතෙක් හඳුනාගෙන ඇති වෙනත් කිසිදු ඩයිනෝසෝර විශේෂයක නොපෙනෙන" සුවිශේෂී ලක්ෂණයක් බවයි.

නව විශේෂයක් සොයාගත් බව තහවුරු වූ මොහොතේ තමාට ඇති වූ සතුට සහ උද්යෝගය නිසා යතුරුපුවරුවක් පවා කැඩී ගිය බවත්, එය සිය වෘත්තීය ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම පර්යේෂණය මෙම සතියේ මුලදී Nature විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත. මේ අතර, පසුගිය මැයි මාසයේදී තායිලන්තයෙන් හමු වූ තවත් දිගු බෙල්ලක් සහිත ශාකභක්ෂක ඩයිනෝසෝර විශේෂයක් වන නාගටිටන් (Nagatitan) ද විද්‍යාඥයින් හඳුනාගෙන තිබුණි. එය අග්නිදිග ආසියාවෙන් මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම ඩයිනෝසෝරයා ලෙස සැලකෙන අතර, ටොන් 27ක පමණ බරකින් සහ මීටර් 27ක පමණ දිගකින් යුක්ත වූ බව ගණන් බලා ඇත.