අවමංගල්‍යය මැද මිනී පෙට්ටියේ පියන ඇරගෙන 15 හැවිරිදි දැරිය නැගිටියි- ලෝකයම හොල්මන් කළ අදහාගත නොහැකි ආශ්චර්යය
මියගිය බවට සිතා අවමංගල්‍ය කටයුතු සූදානම් කරමින් සිටියදී, මිනී පෙට්ටිය තුළ සිටි 15 හැවිරිදි ග්වාතමාලා දැරියක් හදිසියේම චලනය වී නැගිටීමේ පුවතක් වාර්තා වේ.
යූලෙයිඩි ඉක්සොටොයාක් (Yuleidy Ixcotoyac) නමැති මෙම දැරිය සෙනසුරාදා අලුයම සිය පියා සමඟ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත යමින් සිටියදී සිහිසුන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේවගැතිවරයෙකු වන ඇගේ පියා, දියණියගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථය නතර කර තිබේ. එහිදී ඇය හුස්ම නොගන්නා බවත්, නාඩි ස්පන්දනයක් නොදැනෙන බවත් දුටු ඔහු ඇය මියගොස් ඇති බවට සිතා ඇත.
කෙසේ වෙතත්, දැරිය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර පරීක්ෂා කරවා ගැනීමක් හෝ නිල මරණ සහතිකයක් ලබාගැනීමක් සිදුකර නොමැති බව වාර්තා වේ. අනතුරුව පවුලේ සාමාජිකයන් මිනී පෙට්ටියක් මිලදී ගෙන ඇයගේ අවමංගල්‍ය කටයුතු සඳහා සූදානම් වී තිබේ.
. එදිනම පසුව, එල් ජොකොටේ (El Jocote) ප්‍රදේශයේ පිහිටි නිවසේ අවමංගල්‍ය කටයුතු සඳහා පිරිසක් රැස්ව සිටියදී මෙම අසාමාන්‍ය සිදුවීම සිදුව ඇත.
දැරියගේ මව වන ලෙස්වියා රියෝස් (Lesvia Ríos) කඳුළු සලමින් මිනී පෙට්ටිය මත වැතිර සිටියදී, එහි ඇතුළත යම් චලනයක් දැනී තිබේ.
පසුව මිනී පෙට්ටියේ පියන විවෘත කළ අවස්ථාවේදී දැරිය ඇස් විවෘත කර නැගිට වාඩි වී සිටි බව සඳහන් වේ
. “ඇය මියගොස් නැති බවත්, ඇය ජීවතුන් අතර සිටින බවත් මම දිගින් දිගටම කියමින් සිටියා,” යනුවෙන් ඇගේ මව ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබේ.
“මම මිනී පෙට්ටිය මත වැතිර හඬමින් සිටියදී එහි කුඩා කවුළුව විවෘත කළා. එවිට ඇය චලනය වෙමින් සිටියා. ඇය අවදි වෙමින් සිටි අතර, හදිසියේම නැගිට වාඩි වුණා,” යනුවෙන් ද ඇය සඳහන් කර ඇත.
සිහිසුන් වීමට පෙර තමන්ට ඇති වූ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් දැරිය පවසා ඇත්තේ, මුලින්ම හදවතේ දැඩි වේදනාවක් සහ බර ගතියක් දැනුණු බවයි. ඉන් අනතුරුව තමන්ට සිහිය නැති වූ බව ද ඇය සඳහන් කර තිබේ.
“මගේ ජීවිතයේ සිදුවූ සියලු දේ වෙනුවෙන් දෙවියන්ට ස්තූති කිරීමට මට වචන නැහැ. එය ආශ්චර්යයක්,” යනුවෙන් ඇය ප්‍රකාශ කර ඇත. දැරිය සිහිසුන් වූ අවස්ථාවේදී ඇයව රෝහලකට හෝ වෛද්‍ය සායනයකට රැගෙන නොගිය බව ඇගේ පියා ද ප්‍රාදේශීය මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.
“මම වාහනය පසෙකට කර නතර කර ඇයව පරීක්ෂා කළා.
ඇය හුස්ම නොගන්නා බවත්, මැණික් කටුවෙන් නාඩි ස්පන්දනයක් නොදැනෙන බවත් මට පෙනුණා. එය මට ඉතා අසීරු අවස්ථාවක් වුණා. ඇය රෝහලකට ගියේ නැහැ,” යනුවෙන් ඔහු පවසා ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් ග්වාතමාලා සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.
මේ අතර, දැරිය මේ වන විට නිවසේ සිට සුවය ලබමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.