ඩොලර්වලට බදු ගැහුවොත් තරුණ පෙළ වෙන මඟක යයි
රටේ තරුණ තරුණියන් අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් උත්පාදනය කර දෙන බවත් ඔවුන්ට විශ්‍රාම වැටුප් හෝ වෙනත් අවශ්‍ය දේවල් රජයෙන් නොලැබෙන නිසා උපයන ඩොලර්වලට බදු පැනවීමට කටයුතු කළහොත් එම මුදල් වෙනත් ආකාරයට හැසිරවීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් බලාපොරොත්තු නොවූ දෙයක් බවත් මෙසේ කිරීමට යෑමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාවට ලැබිය යුතු විදේශ ආදායම අහිමිවීම පමණක් බවද ගාල්ල කරාගොඩ ශ්‍රී පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන විශේෂ ගුණ සමරු පිංකමට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා එම අදහස් දැක්වීම කළේය.
විහාරාධිපති නරාවල සිරිවිමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම පැවැත්විණි.
ඉන්ධනහල් සඳහා ලබාදෙන ලාභය අහිමි කිරීමට බලධාරීන් ගෙන ඇති තීරණයට ප්‍රධානම හේතුව අත්දැකීම් හා පළපුරුද්ද නොමැතිකම බව ද ඒ මහතා කීය. පෙට්‍රල් ෂෙට්වල සේවකයන්ට ඛනිජ තෙල් සංස්ථාවේ මෙන් එක එක ආකාරයේ දීමනා නොලැබෙන බවත් එහි සේවකයන්ට ඉන්ධන ආඝ්‍රාණය වනවාට යම් සැලකියයුතු මුදලක් ඉන්ධනහල්වලින් ලබාදීමට සිදුවන නිසා ඔවුන්ට ලාභයක් තිබිය යුතු බව ද අබේවර්ධන මහතා කීය. අවුරුදු 10ක් එම රැකියාව කරන අයගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම නරක තැනකට ගමන් කරන බවත් ඔහු අවධාරණය කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එකමුතුව තරග කළ යුතුයි. එයට යම් කෙනෙක් විරුද්ධ නම් මම හිතන්නේ ඔවුන් මානසික රෝගියෙක් බවයි.
අලියා ලකුණෙන් තරග කිරීමත් එසේත් නොමැති නම් තම තමන්ගේ අනන්‍යතාව රැකගෙන පොදු ලාංඡනයකින් තරග කිරීමත් කළ යුතු බව ද හෙතෙම කීය.
