මේ පාර පෙරහැර නැතිවෙයිද? පෙරහැරේ යන්න අලි නැල්ලු
පෙරහැර සඳහා යොදාගත හැකි හීලෑ අලි ඇතුන් නොමැතිවීම හේතුවෙන් මේ වන විට සාම්ප්‍රදායික පෙරහැර පැවැත්වීමමේ ගැටලු මතුව ඇති බව අස්ගිරි විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානයේ භාරකාර ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියෝ පවසති .
මුතියංගන රාජ මහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය පිළිබඳ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසුහ.සම්ප්‍රදායික පෙරහැර පවත්වාගෙන යාම සඳහා අලි ඇතුන් රැක බලාගත හැකි ආයතන , විහාරස්ථාන හා දේවාලවලට යම් අලි ඇතුන් ප්‍රමාණයක් නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා ඇති නමුත් ඒ පිළිබද අවධානය යොමු නොවීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බව උන්වහන්සේ පෙන්වාදුන්හ.
මේ වන විට දිවයින පුරා හීලෑ අලි ඇතුන් සියයකට ආසන්න ප්‍රමාණයක් පමණක් සිටින බවත් ඒ අතර සිටින වයෝවෘද්ධ අලි ඇතුන් මෙන්ම රෝගාබාධ සහිත සතුන් පෙරහැරට සම්බන්ධ කරගැනීමට නොහැකි බව උන්වහන්සේ පැවසූහ.
මෙහිදී අදහස් දක්වමින් ධම්මරතන හිමියෝ පවසා සිටියේ වන අලි ගහනය වැඩිවීමේදී එය පාලනය කිරීම සඳහා අතීතයේ සිට අලි ඇතුන් යම් ප්‍රමාණයක් හීලෑ අලි පන්තියට ඇතුළත් කළ බවයි. මේ හරහා එම සත්තු ආරක්ෂා කර ගැනීමට මෙන්ම සම්ප්‍රදායද ආරක්ෂා කරගත හැකි බැවින් බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමුවිය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.