ගිනිදැල්වලට බිලි වූ සූරියගල රක්ෂිතය - අක්කර ගණනාවක් අළු කරමින් සිදුවූ දැවැන්ත හානිය

By Malith Madushan Jun 19, 2026 04:16 AM GMT
Report

පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ පිහිටි සූරියගල රක්ෂිතයේ ඊයේ (18) රාත්‍රියේ හදිසි ගිනි ගැනීමක් වාර්තා වී තිබේ.

ගින්න හටගැනීමට හේතු වූ කරුණු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එම ගිනි ගැනීම හේතුවෙන් රක්ෂිතයේ අක්කර 20කට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ, මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සහ තද සුළං හේතුවෙන් මෙවැනි ගිනි ගැනීම් ඉතා වේගයෙන් පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.

මෙම ගින්නෙන් සූරියගල රක්ෂිතයේ පාරිසරික පද්ධතියට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවත්, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත.