මගේ මහත්තයා රට වෙනුවෙන් හැමදේම කළේ ,එයාට හරිම අමානුෂික විදිහට සලකලා - සුරේෂ් සලේගේ බිරිඳ කඳුළු සලමින් කියු කතාව
සිය සැමියා වසර 38 ක් පුරාම මුළු ජීවිතයම කැප කරමින් රට වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටුකළ බවත්, ඔහු සිදුකළ එම උදාර සේවය වෙනුවෙන් කෘතගුණ දැක්වීමට සමස්ත ජනතාවට දැන් කාලය එළඹ ඇති බවත් හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාගේ බිරිඳ පවසයි.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙමින් එහිදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර සිටින සුරේෂ් සලේ මහතාගේ සුවදුක් බැලීම සඳහා අද 07 වැනිදා එම දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ සිය සැමියා ජීවිත අවදානම නොතකා සිදුකරන මෙම මාරාන්තික උපවාසය වහාම අත්හරින ලෙස තමන් ඇතුළු පවුලේ ඥාතීන් ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිය ද, ඔහු එය කිසිසේත්ම පිළිගැනීමට සූදානම් නොමැති බවයි.
තමන්ට සිදුව ඇති දැඩි අසාධාරණය වෙනුවෙන් සහ තමන්ගේ ආත්මගරුත්වය වෙනුවෙන් අවසානයක් දක්වාම සෘජුව පෙනී සිටීමට ඔහු දැඩිව තීරණය කර ඇති බව ද ඇය සඳහන් කළාය.
එමෙන්ම අධිකරණය හමුවේ තවමත් වරදකරුවෙකු නොවූ, සැකකරුවෙකු පමණක් වන සුරේෂ් සලේ මහතාට බලධාරීන් විසින් ඉතාමත් අමානුෂික අන්දමින් සලකන බවත්, මෙම සමස්ත ක්‍රියාවලිය තුළ කිසිදු නීත්‍යානුකූල හෝ මානුෂීය සාධාරණත්වයක් නොමැති බවත් ඇය දැඩි සංවේගයෙන් යුතුව ප්‍රකාශ කර සිටී.
ආරක්ෂක අංශවල විශේෂ රැඳවුම් නියෝග මත දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ප්‍රශ්න කරනු ලබන හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාව බැහැදැකීම සඳහා අද 07 වැනිදා ඔහුගේ බිරිඳ, පුත්‍රයා සහ සහෝදරයා යන පිරිස නිල අවසරය මත එහි පැමිණ සිටියහ.
එහිදී අදහස් දැක්වූ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ,
''මට කියන්න තියෙන්නේ මගේ හස්බන්ඩ් ඉනසන්ට් කියලා ඔක්කොමලා දන්නවා. ඉතින් මෙහෙම කරන එක ඉතාමත්ම අසාධාරණයි කියන එක. මොකද එයාව ස්කේප් බෝඩ් කෙනෙක් කරගෙන මේ වෙලාවේ තියෙන එක හොඳටම පේනවා.
JMO රිපෝට් එකෙත් කියලා තියෙනවා ඉතාම හරිම ඉන්හියුමන්ට් ට්‍රීට්මන්ට් කියලා.
එයා දැන් මාරාන්තික උපවාසයක් පටන් අරන් තියෙන්නේ. කොහොමත්ම නවත්තන්න කැමති නෑ. අපි ගොඩාක් කතා කරලා බැලුවා. පුළුවන් ද කියලා හිත වෙනස් කරන්න. එයා කියන්නේ එයා මේක පී ටී එක විරුද්ධව කරන්නේ. මොකද එයා අපි ඔක්කොම දන්නවා එයා ඉනසන්ට් කියන එක.
ඉතින් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න පුළුවන්. නමුත් මානුෂීය විදිහට සලකන්න ඕනනේ. මොකද ඉතාම අමානුෂික විදිහට තමයි සලකලා තියෙන්නේ. ඉතින් මට හරි ම දුකයි. මෙච්චර අවුරුදු තිස් අටක කාලයක් රට වෙනුවෙන් කැප කරලා අපිට අඩුම ගානේ කවදාවත් බබෙක්ගේ ඉස්කෝලෙකටවත් යන්ඩ වෙලා තිබුන් නෑ. මොකද හැමවෙලේම රට වෙනුවෙන් කැප වෙලා හිටියේ එයා. ඉතින් ඒ වගේ එහෙම මනුස්සයෙක්ට මෙච්චර කැපවීම් කරලා රට වෙනුවෙන් කැප වෙච්ච මනුස්සයෙක්ට මෙහෙම කරන එක ගැන ඉතාම අසාධාරණයි.
ඉතින් අපි දන්නවා කවුද මේකට ඉතින් වගකියන්න ඕන කියලා. මේ විදිහට කැත විදියට සලකන එකට. මට ඉතින් හරිම දුකයි මගේ හස්බන්ඩ් ගැන. නමුත් එයා උපවාසය අතහරින්නේ නැහැ. මොකද එයා කියන්නේ එයා රට වෙනුවෙන් කොහොමත් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්. මේ වගේ අසාධාරණයට එරෙහිව කොහොමත් එයා නැඟී සිටිනවා. හැමවෙලේම එයා කොන්ද කෙලින් තියන් හිටපු මනුස්සයෙක්. ඉතින් මං හරි ආඩම්බර වෙනවා මගේ හස්බන්ඩ් ගැන. මෙහෙම උපරිම සේවයක් කරපු එක ගැන. නමුත් මං ඉල්ලා සිටින්නේ හාම් එකක් වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි හොස්පිටල් එකකටවත් ගෙනියන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්.
මොකද එයා ඉන්න මානසික තත්වය අනුව එයාට කියන්න බෑනේ මාව හොස්පිටල් ගෙනියන්න කියලා. එතකොට වගකිවයුත්තෝ දැනගත යුතුයි හරි දේ කරන්න. එයාගේ ජීවිතය බේරාලා දෙන්න මම ඔක්කොමලගෙන් ඉල්ලන්නේ එච්චරයි.. කරුණාකරලා කොහොමහරි උපරිම සේවාවක් කරන්න. සුරේෂ් රට වෙනුවෙන් කරා වගේ දැන් මේ ඕගොල්ලන්ගේ අවස්ථාව මේ වෙනුවෙන් සුරේෂ් වෙනුවෙන් නැගී සිටින්න. මොකද එයාට පුළුවන් උනානම් රට වෙනුවෙන් අවුරුදු තිස් ගාණක් එයාගේ මුළු ජීවිතයම කැප කරන්න. මේ ඕගොල්ලන්ගේ අවස්ථාව. ඕගොල්ලෝ දන්නවා කවුද ඇත්ත කියන්නේ කියලා. ඕගොල්ලෝ නැගී සිටින්න සුරේෂ් වෙනුවෙන්. මං ඉල්ලා සිටින්නේ එච්චරයි.''