ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්
පොලිස් කොමිසම විසින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පොලිස් නිලධාරීන් 71 දෙනෙකු ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව, පොලිස් සැරයන්වරයෙකු උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීම නීත්‍යානුකූලව සිදුකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
පෙත්සම්කරුවන් චෝදනා කර තිබුණේ 11 වන වගඋත්තරකරු ලෙස නම් කර ඇති එම්.එල්.ඩී.ඩබ්ලිව්.කේ. ජයසේකර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීම හරහා තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවයි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු මහින්ද සමයවර්ධන සහ විනිසුරු සම්පත් කේ.බී. විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම පෙත්සම් සලකා බලා තිබෙනවා.
පෙත්සම්කරුවන් සහ වගඋත්තරකරුවන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ අදාළ උසස්වීම කිසිදු නිලධාරියෙකුට අනවශ්‍ය වාසියක් ලබාදීමේ අරමුණින් ප්‍රමාද වී සිදුකළ ක්‍රියාවක් නොවන බවයි.
ඒ වෙනුවට, 11 වන වගඋත්තරකරු වෙනුවෙන් 2001 වසරේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඔහු වසර ගණනාවක් පුරා අඛණ්ඩව ගත් උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස එම උසස්වීම ලබාදී ඇති බව අධිකරණය නිරීක්ෂණය කර තිබෙනවා.
එමෙන්ම අදාළ නිලධාරියාගේ ඉල්ලීම 2019 වසරේදී පමණක් ආරම්භ වූවක් නොවන බවත්, දශක දෙකකට ආසන්න කාලයක් පුරා ඔහු එම ඉල්ලීම නැවත නැවතත් ඉදිරිපත් කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙනවා.
එම කාලය පුරා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින්ද ඔහුගේ ඉල්ලීමට අඛණ්ඩව සහාය ලබාදී ඇති බව අධිකරණය පෙන්වා දී තිබෙනවා. මේ අතර, අදාළ උසස්වීම් සඳහා නියමිත සුදුසුකම් සපුරන පොලිස් නිලධාරීන්ට විශේෂ උසස්වීම් ලබාදිය හැකි බව පෙත්සම්කරුවන් විසින්ම පිළිගෙන තිබූ බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා.
ඒ අනුව අදාළ පොලිස් නිලධාරියාට ලබාදුන් උසස්වීම නීත්‍යානුකූල බවත්, එමඟින් පෙත්සම්කරුවන් 71 දෙනාගේ මූලික අයිතිවාසිකම් කිසිදු ආකාරයකින් උල්ලංඝනය වී නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
11 වන වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉයන් ප්‍රනාන්දු සහ සහීඩා බැරී යන මහත්ම මහත්මීන් පෙනී සිට තිබෙනවා.