බාල විදුලි උපාංග වෙළඳපොළේ ගැලී යයි - PUCSL අනතුරු අඟවයි

Report

විදුලි පේනු, කෙවෙනි, ඇඩැප්ටර්, පරිවර්තක සහ කේබල් රීල් වැනි උපකරණ තත්ත්වයෙන් බාල ලෙස නිෂ්පාදනය වීම ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් විදුලි අනතුරු සිදුවීමේ අවදානමද ඉහළ ගොස් ඇත.

මෙම තත්ත්වය වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2017 දෙසැම්බර් 07 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් (අංක 2048/39) නිකුත් කර ඇති අතර, එමඟින් වෝල්ට් 250ට නොඅඩු කම්බි මාරු කළ හැකි හෝ නොහැකි පේනු, ස්විච් සහිත හෝ රහිත කෙවෙනි පිටවාන්, දිගු කෙවෙනි, ඇඩැප්ටර්, තනි පරිවර්තක, විලායක සහිත සම්බන්ධක ඒකක, කේබල් රීල් ආදිය නිෂ්පාදනයේදී සහ විකිණීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) සහතිකය අනිවාර්ය කර තිබේ.

කෙසේ වෙතත්, මෙම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වූවද තත්ත්වයෙන් බාල උපකරණ නිෂ්පාදනය දිගින් දිගටම සිදුවීම හේතුවෙන් පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ මහජන උපයෝගිතා කොමිසම (PUCSL) අතර සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී අනාවරණය වූයේ බොහෝ ආයතන වැඩි ලාභ ලබාගැනීම සඳහා තත්ත්වයෙන් බාල උපකරණ නිෂ්පාදනයට යොමුවී ඇති බවයි. ඒ අනුව ප්‍රමිතියෙන් යුතු උපකරණ නිෂ්පාදනයට අවශ්‍ය අච්චු (molds) ආදිය සැපයීමටද එහිදී තීරණය කෙරුණි.

නමුත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් හෝ දැඩි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට චෝදනා එල්ල වී තිබේ. මහජන උපයෝගිතා කොමිසමද මීට සම්බන්ධව විදුලි ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබේ.