සැප්තැම්බරයේ පළමු දිනම කොටස් වෙළෙඳපොළ ඉහළට
සැප්තැම්බර් මාසයේ පළමු වෙළෙඳ දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ප්‍රධාන දර්ශක ඉහළ ගොස් තිබේ. අද (01) පෙරවරුවේ වෙළෙඳාම අතරතුර සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 48.30කින් හෙවත් 0.23%කින් ඉහළ ගොස් ඒකක 21,386.99ක් ලෙස සටහන් විය.
මේ අතර, වඩාත් ද්‍රවශීලී S&P SL20 දර්ශකයද ඒකක 4.00කින් හෙවත් 0.07%කින් ඉහළ ගොස් ඒකක 6,013.68ක් ලෙස සටහන් විය. ASPI දර්ශකයේ ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් හැටන් නැෂනල් බැංකුව, ඩයලොග් ආසියාටා, කොළඹ ඩොක්යාර්ඩ් සහ රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම දායක වී තිබේ.
හැටන් නැෂනල් බැංකුවේ කොටසක මිල 1.18%කින් රුපියල් 384.75 දක්වාත්, ඩයලොග් ආසියාටා කොටසක මිල 1.08%කින් රුපියල් 46.90 දක්වාත් ඉහළ ගොස් ඇත. කොළඹ ඩොක්යාර්ඩ් කොටසක මිල 2.49%කින් රුපියල් 123.50 දක්වාද, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි කොටසක මිල 3.08%කින් රුපියල් 26.80 දක්වාද ඉහළ ගොස් තිබේ.
අනෙක් අතට, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, DFCC බැංකුව සහ කැලණි ටයර්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම ASPI දර්ශකයට අහිතකර බලපෑමක් එල්ල කර ඇත. විශේෂයෙන් කැලණි ටයර්ස් කොටසක මිල 8.49%කින් පහළ ගොස් රුපියල් 85.10ක් ලෙස සටහන් විය.
අද පෙරවරුව වන විට වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 77.3ක් වූ අතර, එම පිරිවැටුම සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය රුපියල් මිලියන 34.75ක දායකත්වයක් ලබා දී තිබේ. මේ අතර, රේණුකා හෝල්ඩින්ග්ස් සමාගම විසින් 2026 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඡන්ද හිමි සහ ඡන්ද නොමැති සෑම කොටසක් සඳහාම රුපියල් 0.212ක පළමු හා අවසන් Scrip ලාභාංශයක් ප්‍රකාශයට පත් කර තිබේ.
කෙසේ වෙතත්, එම ලාභාංශය සඳහා සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීමේදී කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි විය යුතුය. ලාභාංශ නිවේදනය අතරතුර රේණුකා හෝල්ඩින්ග්ස් කොටසක මිල 6.84%කින් පහළ ගොස් රුපියල් 42.20ක් ලෙස වෙළෙඳාම් වී තිබේ.