ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් නවතම තොරතුරු රැසක් එළියට..

By Sithumi Feb 02, 2023 04:32 PM GMT
Sithumi

Sithumi

Report

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එම නිවස හිමි ව්‍යාපාරිකයාගේ මළසිරුරක් අද (02) සොයාගැනුනා.

ප්‍රකට රෙදිපිළි අලෙවිසැල් ජාලයක හිමිකරුවකු මෙලෙස මියගොස් තිබුණා. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි රොෂාන් වන්නිනායක වන අතර ඔහුටම අයත් පැලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබියදී ඔහුගේ සිරුර සොයා ගත්තා.

අදාළ ව්‍යාපාරිකයා පසුගිය 31 වනදා එම නිවසට යන බව සිය සහෝදරියට පවසා ඇතැයි පොලීසිය සඳහන් කළ අතර ඔහු යළි නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමකදී ඔහුගේ සිරුර මෙලෙස හමුවී තිබුනා. මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවද පොලීසිය පවසනවා. 

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා, සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. "එම පුද්ගලයා 30 වනදා ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයකට ගොස් මෙම නිවසේ යතුර ලබාගෙන නිවසට පැමිණ තිබෙන බව ඔහුගේ සහෝදරිය වැල්ලම්පිටිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා. නමුත් මියගිය ස්ථානයේ.. මෙම නිවසේ අදාළ කාර් රථය තිබුණේ නැහැ. 

ඒ වගේම ඔහුගේ දුරකථනය සහ මුදල් පසුම්බිය තිබුණෙත් නැහැ."  කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් කමල් විජේසිංහ මහතා සිද්ධිය වූ ස්ථානයට අද පස්වරුවේ පැමිණ ස්ථානීය පරීක්ෂාව සිදුකර තිබුණු අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදුන් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා.