ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට උණ පැළ හා කුඹුක් පැළ රෝපණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් හෙට අරඹයි... .
අප රටේ 103ක් වන ගංගා පද්ධතියේ ආරක්ෂාව උදෙසා සෑම ගඟකටම “ගංගා සංරක්ෂණ කළාප” නම් කිරිමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ යටතේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සංකල්පයක් පරිදි ක්‍රියාත්මක කර තිබෙන මිහිමවට කන්දෙමු වැඩ සටහන යටතේ ඉවුරු රකින පවුරු නමින් මහවැලි ගංගා ද්‍රෝණියේ උණ පැළ හා කුඹුක් පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් ඇරඹීමට සැලසුම් කර තිබේ.
අප රටේ දිගම ගංගාව වන්නේ මහවැලි ගඟයි. කිලෝමීටර් 335ක දුරක් පූජනීය සමනල කන්දෙන් ඇරඹී ත්‍රිකුණාමලයෙන් සාගරයට ගලා බසින මහවැලි ගඟ ඉන්දියාවේ ගංගා ගඟ මෙන් අපේ ගංගා පද්ධතියේ අප සතු ඉහළම ස්වාභාවික සම්පතක් වේ. මහවැලි ගඟේ සමස්ත ගං ද්‍රෝණිය වර්ග කිලෝමීටර් 10,448කි. අපේ රටේ දැවැන්තම වාරි ව්‍යාපෘතින් හා කෘෂිකාර්මික කළාප මහවැලි ගංගා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකයි.
මේ යටතේ ප්‍රධාන වාරි ඉදිකිරීම් කිහිපයක් තිබෙන අතර ඒවා නම් වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, පොල්ගොල්ල, බෝවතැන්න, කොත්මළේ, හා මොරගහකන්ද ව්‍යාපෘතින් ඊට අයත් වේ.
ඒ අනුව අපේ රටේ මහවැලි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය සඳහා එම ගඟ ගලා යන කිලෝමීටර් 335ක් දුර ගඟේ ඉවුරු දෙකම ආවරණය වන පරිදි උණ පැළ හා කුඹුක් පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් ඇරඹීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ අනුව දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි උණ හා කුඹුක් පැළ 167,500ක් රෝපණය කෙරේ. ඉන් සියයට 20ක් උණ පැළ වන අතර සියයට 80ක් කුඹුක් පැළ වේ. මෙම ව්‍යාපෘතියේ වැදගත්ම කාරණය නම් මේ සඳහා රජයේ මුදල් රුපියලක් හෝ වැය නොකිරීමයි. ඒ අනුව මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා පූර්ණ අනුග්‍රහය ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් දරනු ලබයි.
ඉවුරු රකින පවුරු යන නමින් ඇරඹෙන මෙම රුක්රෝපණ වැඩ සටහන අපේ රටේ ඉතිහාසයේ ගංගාවක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන පළමු විශාලම රුක්රෝපණ ව්‍යාපෘතිය ද විය හැකියි. ඒ සඳහා පරිසර අමාත්‍යාංශය හා ටෝකියෝ සිමෙන්ති සමාගම ගිවිසුම් ගත වීම හෙට දින (06) පරිසර අමාත්‍යාංශයේ දී සිදු කෙරේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ආර්. ඥාණම් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වෙති.