රාජ්‍ය බැංකුවේ සීරුවට වුණු භයානක රන් කොල්ලය කොටුවූ හැටි..
ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේප්පුවකින් රුපියල් කෝටි 2 ක පමණ රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනා මත එම බැංකුවේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර එහි නියෝජ්‍ය කළමනාකරු, මෙහෙයුම් කළමනාකරු සහ සේවා සහායකද සිටින බවයි පොලිසිය පවසන්නේ. ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට පසුගියදා පැමිණිල්ලක් ලැබී තිබුණු අතර විමර්ශන කණ්ඩායමක් ඒ අනුව එම ප්‍රදේශයට ගොස් කඩිනම් පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
එහිදී හෙළිවී තිබුණේ පුද්ගලයෙක් පසුගිය වසරේ නොවැම්බර් මස දස වනදා උකස් තැබූ තම රන් භාණ්ඩ නැවත උකස් තැබීම සඳහා පැමිණි අවස්ථාවේදී ඒවා අස්ථානගතවී තිබීම හේතුවෙන් එම බැංකුවේ රන් භාණ්ඩ අස්ථානගත වී ඇති බවට පළමුව අනාවරණ වී ඇති බවයි. එදිනට පසුදිනම බැංකුවේ සේවකයන් සේප්පු පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහිදී රන් භාණ්ඩ අඩංගු පැකට් 13 ක් අස්ථානගතවී ඇති බව හෙළි වී තිබේ.
එලෙස අස්ථානගතවී ඇති රත්‍රංවල බර ග්‍රෑම් 873 කි. එහි වටිනාකම රුපියල් කෝටි 2 ක් පමණ වන බවයි වාර්තාවනවා. සිදුවීම සම්බන්ධයෙන් බැංකුවේ නියෝජ්‍ය කළමනාකරුගේ සේවය අත්හිටුවීමට බැංකු කළමනාකාරීත්වය කටයුතු කර තිබෙනවා. ඔහුගෙන් ප්‍රශ්න කළ විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත්තේ, එම නිලධාරියා සමග බැංකුවේ සේවය කරන තවත් කාන්තාවන් දෙදෙනෙක් ද ස්වර්ණාභරණ අස්ථානගත වීමට සම්බන්ධ බවයි.
සැකකරු පාපොච්චාරණය කර තිබෙන්නේ තමා සමග එක්ව මෙම සොරකම සිදුකර ඇත්තේ බැංකුවේ මෙහෙයුම් කළමනාකාරිණිය හා සේවා සහායකවරිය බවයි පසුව සැකකාරියන් දෙදෙනා ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පවසා ඇත්තේ, බැංකුවේ කළමනාකාරවරයා නොමැති දින තුනකදී තමන් සතුව තිබූ සේප්පු යතුරු භාවිත කර රත්‍රං ලබාගත් බවය. පළමුව රත්‍රන් අඩංගු පැකට් 5 ක් දෙවැනි සහ තෙවැනි අවස්ථාවලදී රත්‍රන් අඩංගු පැකට් 4 බැගින් ද සොරාගත් බව ඔවුන් පවසා තිබේ.
ඒවා ප්‍රදේශයේ රත්‍රන් අලෙවිසැල් වෙත විකුණා රුපියල් ලක්ෂ 137 ක මුදලක් ලබා ගත් බවත් සැකකරුවන් හෙළිකළ අතර එම මුදලින් රුපියල් ලක්ෂ 57 ක් ලබාගත් නියෝජ්‍ය කළමනාකරු ඔහුට ගෙවීමට තිබූ ණය මුදලක් පියවා ඇති බව විමර්ශන නිලධාරීන් හෙළිකරගෙන තිබෙනවා මෙහෙයුම් කළමනාකාරිණිය රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබාගෙන ඇති අතර ඇය ඉන් තම දියණියට නිවසක් මිලදී ගැනීම සඳහා එම මුදල බැංකුවක තැන්පත් කර තිබෙනවා. සේවා සහායිකාව ලබාගත් රුපියල් ලක්ෂ 30 ක මුදලින් ත්‍රී රෝද රථයක් සහ ඉඩමක් මිලදීගෙන තිබෙන අතර එමෙන්ම මොවුන් අලෙවි කළ රන් භාණ්ඩ ඇතැම් රත්‍රං අලෙවි සැල්වලින් උණුකර වෙනත් පුද්ගලයන් වෙත විකුණා ඇති බවයි පොලිසිය හෙළිකරගෙන ත්බ්‍ර්නවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය සැකකරුවන් තිදෙනා වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.