ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වන දිනය
ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වන දිනය 2025-2026 වර්ෂය වෙනුවෙන් පැවැත්වෙන ගෞතම ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන මැයි 31 වැනිදායින් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සදහන් කර තිබේ.
ශ්‍රී පාදස්ථානාධිපති, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් මෙලෙස සදහන් කර ඇත.
මැයි 30 වැනිදාට යෙදෙන වෙසක් පොහොය දින ශ්‍රී පාද උඩ මළුවේදී ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව 31 වැනිදා උදෑසන පැවැත්වෙන බුද්ධ පූජාවෙන් පසු, ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමා රත්නපුර පලාබද්දර සහ කුරුවිට එරත්න මාර්ග ඔස්සේ පෙරහැර දෙකකින් පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීමට නියමිතව ඇත.
එදින දහවල් බුද්ධ පූජාවෙන් පසු තවත් පෙරහැරක් නල්ලතන්නිය දක්වා වැඩම කරවන අතර, ඉන්පසු නල්ලතන්නිය – බගවන්තලාව – බලංගොඩ මාර්ගය ඔස්සේත්, නල්ලතන්නිය – ලක්ෂපාන – අවිස්සාවේල්ල – රත්නපුර හරහාත් තවත් පෙරහැරවල් දෙකක් පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා ගමන් කරනු ඇත.
ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් වැඩිදුරටත් සදහන් කළේ මෙලෙස මාර්ග 4ක් ඔස්සේ වැඩම කරවන සධාතුක කරඬුව සහ දේව ආභරණ 31 වැනිදා රාත්‍රියේ සිට පසුදින දහවල් දක්වා පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කරන බවයි
ආගමික වතාවත් රැසකින් අනතුරුව ජූනි 01 වැනිදා පස්වරුවේ එම සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමා ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහැරකින් වැඩම කරවා, ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තබන බවයි.