කඳවුරුවල සිරවී සිටින ලාංකිකයින් ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් දැනුවත් කිරීමක්
මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
එසේම එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගු මහතා විසින් සංචාරක වීසා මත පැමිණි පිරිසක් මේ ආකාරයට එම සයිබර් කඳවුරුවල රඳවාගෙන ඇති බවට වාර්තා වී ඇති බව ප්‍රකාශ කළා.
ඒ අනුව සඳහන් වූයේ මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය ආසන්නයේ ඇති එම සයිබර් කඳවුරු ත්‍රස්තවාදී කණ්ඩායම් මඟින් පාලනය කරනු ලබන අතර මීට පෙර ද ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එම කඳවුරුවල සිරව සිටි බවයි.
මේ අතර තානාපති කාර්යාලවල මැදිහත්වීමෙන් එම පිරිස් දැඩි පරිශ්‍රමයකින් පසුව අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමේ අරමුණින් පසුවන ඇතැම් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත විදෙස් ගත වන අතර අනතුරුව ඔවුන් මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවන බවයි.