බ්‍රිස්බේන්හිදී අහිංසකයෙකුට කළ මාරාන්තික ප්‍රහාරය CCTV වල සටහන් වෙයි- ලාංකික තරුණයාට ඕස්ට්‍රේලියානු අධිකරණයෙන් දඬුවම්
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ දුම්රියකදී ආගන්තුක පුද්ගලයෙකුගේ හිසට වීදුරු බෝතලයකින් පහර දීමේ සිද්ධියකට සම්බන්ධ ශ්‍රී ලාංකික තරුණයෙකුට මාස අටක සිර දඬුවමක් නියම කර තිබේ.
කුඩා වියේදී ඕස්ට්‍රේලියාවට පැමිණි 22 හැවිරිදි සරනීස් සිවකුමාර් සහ ඔහුගේ සම-වරදකරු බැඩ්ලි මව්හිනි, අප්‍රේල් 25 වන දින බ්‍රිස්බේන් නගරය බලා ධාවනය වූ ක්ලීව්ලන්ඩ් දුම්රියකදී පුද්ගලයෙකුට පහර දෙන ආකාරය CCTV දර්ශනවල සටහන් වී තිබුණි.
මෙම සිද්ධියට අදාළව සිවකුමාර් සඳුදා වීඩියෝ සබැඳියක් හරහා ක්ලීව්ලන්ඩ් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අතර, ඔහු මීට පෙර මාස 10ක සිර දඬුවමකට යටත් කර තිබූ බවද වාර්තා විය.
අධිකරණයට ඉදිරිපත් වූ කරුණු අනුව, සිවකුමාර් සහ මව්හිනි තනිව ගමන් කරමින් සිටි පුද්ගලයා වෙත ගොස් ඔහු සමඟ කතා කිරීම ආරම්භ කර ඇති අතර, එය ඉක්මනින්ම ප්‍රචණ්ඩ ගැටුමක් බවට පත්ව තිබේ. ඔවුන් දෙදෙනා එම පුද්ගලයාගේ හිසට සහ මුහුණට කිහිප වතාවක් පහර දී ඇති අතර, දුම්රියේ දොරවල් වසා තිබූ අවස්ථාවේ ඔහුව ඇදගෙන යාමටද උත්සාහ කර තිබේ.
“ඉරානය සමඟ ගිවිසුමකට ලොකු ඉඩක් තියෙනවා” දින 3ක සටන් විරාමයකට පසු ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්
පසුව ඔවුන් වෙනත් මැදිරියකට ගොස් ඇති නමුත්, ටික වේලාවකට පසු නැවත පැමිණ ඔහුගේ බෑගය රැගෙන යාමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී සිවකුමාර් වීදුරු බෝතලයකින් එම පුද්ගලයාගේ හිසට පහර දී ඇති අතර, එමගින් ඔහුට බරපතළ තුවාල සිදුව ලේ ගැලීමක් ඇති වී තිබේ. ප්‍රහාරයෙන් පසු වින්දිතයා දැඩි මානසික කම්පනයකට පත්ව ඇති බවත්, පසුව ඔහු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ඉවත් වී ඇති බවත් අධිකරණයට දැනුම් දී ඇත.
සිවකුමාර් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තමන් ක්‍රියා කළේ ආත්මාරක්ෂාව සඳහා බවයි. එහෙත් මහේස්ත්‍රාත් ඩෙබොරා වාස්ටා එම කරුණු පිළි නොගත්තාය. “ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කිරීමට ඔබට අයිතිය තිබිය හැකියි.
නමුත් කෙනෙකුගේ හිසට බෝතලයකින් පහර දීම ආත්මාරක්ෂාවක් නොවේ. එය අහිංසක පුද්ගලයෙකුට එල්ල කළ බරපතළ ප්‍රහාරයක්,” යනුවෙන් මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.
කෙසේ වෙතත්, උපරිම දඬුවම මාස 12ක් වන චෝදනාව යටතේ, සිවකුමාර්ට මාස අටක සිර දඬුවමක් නියම කළ අතර, ඔහු දැනටමත් අත්අඩංගුවේ දින 89ක් ගත කර තිබීම හේතුවෙන් අධීක්ෂණ කොන්දේසි යටතේ නිදහස් කිරීමට නියෝග කරන ලදී. මහේස්ත්‍රාත් වාස්ටා සඳහන් කළේ, චෝදනාව සඳහා නීතියෙන් නියම කර ඇති උපරිම සීමාව හේතුවෙන් දඬුවම සීමා කිරීමට සිදු වූ බවයි.
“දඬුවම වැඩි කළ හැකි වූවා නම්, ඔබ දැනට ගත කළ කාලයට වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි මම සිතනවා,” යනුවෙන් ඇය පැවසුවාය. අධිකරණයට දැනුම් දී ඇත්තේ සිවකුමාර් පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගෙන ඇති බවත්, රැකියාවක් සොයා මෙල්බර්න් සිට බ්‍රිස්බේන් වෙත පැමිණ ඇති බවත්ය.
කෙසේ වෙතත්, ඔහුට ස්ථිර රැකියාවක් හෝ නිවාස පහසුකම් නොමැති තත්ත්වයක සිට ඇති බවද සඳහන් විය.