ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ කුවේට් සිට ශ්‍රී ලාංකික සිරකරුවන් 20ක් මෙරටට!

Sri Lanka Police Department of Prisons Sri Lanka Sinhala news
By Dharu Mar 26, 2025 11:42 PM GMT
Dharu

Dharu

Report

කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ ( Central Jail of Kuwait ) රදවා තබා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු , කුවේට් - ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ , මෙරටට භාර දීම සදහා 03/26 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත , එරට සිට විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබුණි .

කුවේට් - ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම 2007 වසරේ දී අත්සන් තබා ඇති අතර , එම ගිවිසුම යටතේ ඉකුත් 2024 වසරේ දීත් ශ්‍රී ලංකා සිරකරුවන් 32 දෙනෙකු පළමු වරට මෙරටට ගෙනැවිත් භාර දී තිබුණි.

මෙවර කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි ශ්‍රී ලාංකික සිරකරුවන් , කුවේට් රාජ්‍යය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම , ප්‍රවාහනය කිරිම සහ ජාවාරම් කිරීම යන චෝදනා සහ තවත් විවිධ චෝදනා මත එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කර , දඩුවම් ලබා , බන්ධනාගාරගතව සිටි පිරිසකි.

මොවුන් කුවේට් ගුවන් හමුදාවට අයත් බෝයිං සී. - 17 වර්ගයේ විශාලතම ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

කුවේට් ගුවන් හමුදාවට අයත් කේ.එෆ්.සී.- 3207 දරන එම ගුවන් යානය 03/26 දින දහවල් 11.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකික සිරකරුවන් සමග කුවේට් ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු පමණ පැමිණ සිටි අතර , ඔවුන් සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ද දිනක විවේකයක් සදහා කොළඹ තරු පංතියේ හෝටලයක් වෙත යොමු කර තිබුණි .

මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සිරකරුවන් කොළඹ , වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යාමට , බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

කුවේට් - ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මේ වනවිට අවස්ථා දෙකකදී , ශ්‍රී ලාංකික සිරකරුවන් 52 දෙනෙකු මෙරටට රැගෙන විත් භාර දී තිබුණ ද , මෙරටින් කුවේට් රාජ්‍යය වෙත භාර දීම සදහා කුවේට් ජාතික සිරකරුවන් කිසිවෙකු නොවීම ද විශේෂත්වයකි.

ReeCha