අඩු වියදමින් වියට්නාමෙ යන්න මෙන්න නියම අවස්ථාවක්- 'Vietjet' මංගල ගුවන් යානය ලංකාවට එයි

Report

වියට්නාමයේ අඩු වියදම් ගුවන් සේවයක් වන වියට්ජෙට් එයාර්, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කර තිබේ. ඒ අනුව එහි මංගල ගුවන් ගමන ඊයේ (18) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) පැමිණියේය.

වියට්ජෙට් හි VJ-1875 දරන මංගල ගුවන් යානය රාත්‍රී 9.33ට කටුනායකට ළඟා වූ අතර, හෝ චි මිං නගරයේ සිට මගීන් 169 දෙනෙකු එහි පැමිණ තිබේ. මෙම ගුවන් සේවාව ආසන 180කින් සමන්විත එයාර්බස් A320 ගුවන් යානා යොදාගෙන ක්‍රියාත්මක කෙරේ.

මංගල ගුවන් ගමනේ විශේෂත්වයක් වූයේ ගුවන් යානය ශ්‍රී ලාංකික ගුවන් නියමුවන් දෙදෙනෙකු වන කපිතාන් තිවංක සිල්වා සහ පළමු නිලධාරී රන්දීර් පෙරේරා විසින් මෙහෙයවීමයි.

කෙටි විරාමයකින් අනතුරුව, මගීන් 171 දෙනෙකු රැගෙන ගුවන් යානය කටුනායක සිට හෝ චි මිං නගරය බලා පිටත්ව ගොස් තිබේ. වියට්ජෙට් එයාර් සතියකට තුන් වතාවක්, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල හෝ චි මිං නගරය සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මංගල ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමේදී සම්ප්‍රදායික ජල ආචාරයකින්ද පිළිගනු ලැබීය.