ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන වේගයෙන් ඉහළට - පලතුරු සහ එළවළු අපනයනයත් වැඩි වෙයි
By Malith Madushan
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා පවතින විදේශීය ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, පසුගිය වසරේදී පමණක් මෙරට කෘෂි නිෂ්පාදන අපනයනය සියයට 20කින් පමණ වර්ධනය වී ඇති බවයි.
එම කාලය තුළ පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනය සියයට 42කින්, පලතුරු අපනයනය සියයට 21කින් සහ එළවළු අපනයනය සියයට 20කින් ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙරට කෘෂි නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළ තුළ ඇති ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී කෘෂිකාර්මික ක්ෂේත්රය වෙත වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම කාබනික කෘෂි නිෂ්පාදන සඳහා වැඩි අවස්ථා ලබාදීමට රජය අපේක්ෂා කරන බවද චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.