සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2026 ජනවාරි-ජුනි මූල්‍ය සමාලෝචන වාර්තාවට අනුව, 2026 වසරේ පළමු භාගයේදී රජයේ ආදායම සහ ප්‍රදාන ලැබීම් ට්‍රිලියන 2.956 දක්වා 27.1%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය 2026 වසර සඳහා අපේක්ෂිත රුපියල් ට්‍රිලියන 5.3ක වාර්ෂික ඇස්තමේන්තුවෙන් 55.8%ක්. මෝටර් රථ ආනයනයට අදාළ බදු එකතු කිරීම් ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව මෙහිදී මෙරට විශාලතම බදු ආදායම් උපයන්නා බවට පත්ව ඇත.
පළමු මාස හය තුළ මුළු බදු ආදායම 25.9% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2,710.6 ක් ලෙස වාර්තා වී ඇති අතර, එය රුපියල් බිලියන 4,910ක වාර්ෂික ඇස්තමේන්තුවෙන් 55.2%ක්. බදු නොවන ආදායම 43.6% කින් වැඩි වී රුපියල් බිලියන 243.6 ක් (67.7%) ලෙස සටහන්ව තිබේ. ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,290 ක් එකතු කරමින් මුළු බදු ආදායමෙන් 48% ක දායකත්වයක් ලබා දී ඇති අතර, එය තම වාර්ෂික ඉලක්කයෙන් 58.5%ක්.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) රුපියල් බිලියන 1,248ක් එකතු කරමින් 46%ක දායකත්වයක් (වාර්ෂික ඉලක්කයෙන් 52%) ලබා දී ඇති අතර, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 138ක් (වාර්ෂික ඉලක්කයෙන් 56.5%) එකතු කර තිබෙනවා. මෝටර් රථ ආනයනයට පැනවූ බදු ඉහළ යාම රේගු ආදායම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර, මෝටර් රථවලින් ලැබුණු ආදායම රුපියල් බිලියන 266.4 දක්වා දෙගුණයක් ඉක්මවා ගොස් තිබෙනවා.
රේගුව හරහා එකතු කළ ආනයනික වැට් (VAT) බදු අගය රුපියල් බිලියන 443.7ක් ලෙසයි වාර්තා වී ඇත්තේ දේශීය ක්‍රියාකාරකම් මත අය කළ වැට් බදු සහ ආදායම් බදු හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම ද වර්ධනය වී ඇති අතර, සමස්ත වැට් බදු එකතුව රුපියල් බිලියන 987.6ක් දක්වා 25%කින් ඉහළ ගොස් තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායමෙන් 99% ක් ම ලැබී ඇත්තේ මත්පැන් මත පැනවූ බදුවලින්. රජයේ ආදායම ශීඝ්‍රයෙන් වර්ධනය වීම සහ වියදම් පාලනය කර ගැනීම හේතුවෙන් 2026 පළමු භාගයේ අයවැය ශේෂය රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් (Surplus) කරා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ එම කාලය තුළ පැවති රුපියල් බිලියන 405.6ක හිඟයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක්. මූලික අතිරික්තය ද (Primary surplus) 45% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1,244.1 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.